ශ්‍රී ලාංකික ගුවන් මගියෙන් මැලේසියා ගුවන් යානයක පිස්සු නටයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුවන් මගියෙකු බලහත්කාරයෙන් ගුවන් නියමු කුටියට ඇතුළුවීමට උත්සහ කිරීමේ සිද්ධියක් හේතුවෙන් මැලේසියානු ගුවන් සමාගමට අයත් එම් එච් 128 දරණ ගුවන් යානයක් නැවත ගොඩබැස්සවීමට සිදුව තිබේ.

අදාළ ගුවන් මගියා මෙල්බන් ගුවන් තොටුපොළට යානය ගොඩබැස්සවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

යානය ඔස්ට්‍රේලියාවේ මෙල්බන් සිට මැලේසියාවේ ක්වාලාම්පූර් නගරය බලා පියාසර කරමින් තිබූ එකකි.

අදාළ ගුවන් මගියා ගුවන් යානයේ නියමු කුටියට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සහ දරා තිබෙන අතර එහිදී යානය යළි මෙල්බන් ගුවන් තොටුපොළට ගොඩබැස්සවීමට නියමුවන් ක්‍රියා කර ඇත.

ඔහු තමන් සතුව බෝම්බයක් ඇති බවට පවසා කාර්ය මණ්ඩලය බියට පත්කර ඇති බව ද වාර්තා වේ.

මැලේසියාවේ නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා ඇත්තේ අදාළ ගුවන් මගියා ජංගම දුරකථන ආරෝපණය කරන විද්‍යුත් උපකරණයක් පෙන්වා අදාළ බියගැන්වීම සිදුකර ඇති බවය.

ශ්‍රී ලාංකිකයෙකු ලෙසට විශ්වාස කෙරෙන අදාළ ගුවන් මගියා බීමතින් සිට ඇති බව ද මැලේසියානු නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍යවරයා පවසා ඇත.

ගුවන් යානය පුපුරුවා හරින බවට ඔහු තර්ජනය කර ඇති බව ද ප්‍රකාශ කෙරුණි. අත්අඩංගුවට ගැනුණු ගුවන් මගියා වැඩිදුර පරීක්ෂණ සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ මගින් රඳවාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *