CFS – 1 බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ දෙවන අදියර විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – නැවත ගොඩනගන ලද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ CFS – 1 බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ දෙවන අදියර වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින් සමරසිංහ මහතා අතින් ඊයේ(31) විවෘත විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවා දායකයන් වෙත ප්‍රශස්ත සේවාවන් ලබා දීමේ අරමුණෙන් බහලු මෙහෙයුම් මධ්‍යස්ථාන පහසුකම් පුළුල් කිරීමට පියවර ගෙන ඇත. ඒ යටතේ වර්ග මීටර් 5,100ක ප්‍රමාණයකින් යුතු මෙම බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය අර්ධ පූර්ණ බහලු මෙහෙයුම් සහ ප්‍රතිඅපනයන නැව් භාණ්ඩ මෙහෙයුම් කිරීම් සදහා වූ පහසුකම් වඩා පුළුල් කිරීමේ අරමුණින් , නවීන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් ඉදි කර ඇත.

ගිනි අවදානම් හදුනා ගැනීමේ නූතන උපාංග පද්ධතියකින් හා ගුදම් කළමනාකරණ මෙහෙයුම් පද්ධතියක් ඇතුළු ලෝකයේ තරගකාරී වරායන් සතු ගුණාත්මක හා ඵලදායීතාවයෙන් අනූන බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයක් සතු සියලු අංගෝපාංගයන්ගෙන් මෙම CFS – 1 බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය සමන්විත වේ.

වර්තමාන තත්ත්වය සැලකීමේ දී ප්‍රධාන නෞකා සේවාවන් කොළඹ වරාය වෙත ආකර්ශනය කර ගැනීමට හැකි වීම නිසා 2016 වසරේ දී කොළඹ වරාය බහලු මෙහෙයුම් මිලියන 5.2ක සිට 5.7ක් දක්වා වර්ධනය කර ගැනීම හේතුවෙන් සියයට 10.6ක වර්ධනයක් පෙන්වමින් පහලු මෙහෙයුම් වර්ධනය අංක දෙකකින් ළගාකර ගත් ලොව දෙවැනි වරාය ලෙසට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 4 =