ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – ජල ගැලීම් හා නායයාම්වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

පීඩාවට පත් ජනතාවගේ අස්ථානගත වූ හා පළුදු වූ අපහැදිලි තත්ත්වයට පත්ව ඇති ජාතික හැදුනුම්පත් වෙනුවෙන් හැදුනුම්පතෙහි දෙවන පිටපතක් නිකුත් කිරීම මේ යටතේ සිදු කෙරේ.

මෙහිදී උප්පැන්න සහතිකය, අනුමාන වයස් සහතිකය, ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන ආදී මූලික ලේඛන නොමැති වුවද ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුම්පත්‍රයේ සදහන් තොරතුරු සමග දෙපාර්තමේන්තු වාර්තා සැසදීමෙන් අනතුරුව හැදුනුම්පත් සකස් කිරීම සිදු කරනු ඇත.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතින් හැදුනුම්පතක් සැකසීම සදහා වන ඉල්ලුම්පතක් ලබාගත හැකිය.

ඉල්ලුම්කරුවන් ජල ගැලීම් හෝ නායයාම්වලින් විපතට පත්ව ඇති බවත් හැදුනුම්පත් සැකසීමට අවශ්‍ය ලේඛන විනාශ වී ඇති බවත් ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් සනාථ කර තිබීම අත්‍යවශ්‍ය බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *