රජ‍යේ වැඩපිළිවෙලට සහයෝගය දෙන්න – ජනමාධ්‍ය ඇමතිගෙන් මාධ්‍යයට ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියා හා සංවර්ධනය යන ප්‍රධාන තේමා තුනක් යටතේ රජය ගමන් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

ජාති, ආගම්, පක්ෂ පාට භේදයෙන් තොරව මෙම වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන ලෙස තමා රජයේ හා පෞද්ගලික අංශයේ සියලුම මාධ්‍යවලින් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා කියා සිටියේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවෙමින් අමාත්‍යවරයා අද (02) මේ බව සඳහන් කළේය.

කලාපයේ සක්‍රිය ජනමාධ්‍ය කර්මාන්තයක් තිබෙන රටක් බවට ශ්‍රී ලංකාව ද පත් වී තිබේ.

විධායක බලය පාර්ලිමේන්තුවට ලබාදීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන අතර සෑම ජන කණ්ඩායමකම අදහස්වලට ඇහුන්කම් දෙමින් කටයුතු කරන බවත් බෙදීම් තුළින් රටකට ඉදිරියට යා නොහැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

1948 පෙබරවාරී 04 වැනි දා නිදහස ලබාගන්නා විට කලාපයේ ජපානයට පමණක් දෙවැනි වූ ශ්‍රී ලංකාව පක්ෂ පාට, ජාති, ආගම් වශයෙන් කුලල් කෑම් හේතුවෙන් ගත යුතු තීණ්දු තීරණ රැසක් අතපසු වී තිබෙන බවත් නියපොත්තෙන් කැඩීමට තිබුණු දේ වසර 30ක් වැනි යුද්ධයක් බවට පත් වූ බවත් සමරවීර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දියුණු ආර්ථික වර්ධනයක් ළඟා කරගත යුතු බවයි. යල්පැන ගිය අදහස් ඉවත් කර නවීන ලෝකය සමඟ ඉදිරියට යා යුතුය.

පසුගිය ජිනීවාහි පැවති යෝජනාවට ලෝකයේ ප්‍රධාන රටවල් ශ්‍රී ලංකාව වෙනුවෙන් නැගී සිටීම අප ලද ජාත්‍යන්තර ජයග්‍රහණයක් වන අතර ලෝකය උදව් කිරීමට සූදානම් වී සිටින මොහොතක ඒ ශක්තිය අප ලබාගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන රමණී ගුණවර්ධන මහත්මිය සහ එච්.ඩී.එස්. මල්කාන්ති මහත්මිය, ආයතන ප්‍රධානී ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *