නන්දිකඩාල් කලපුවේ එකවර මසුන් විශාල තොගයක් මිය යාමට හේතුව අනාවරණය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – නන්දිකඩාල් කලපුවේ මසුන් විශාල ප්‍රමාණයක් මියයාමට හේතුව එම ජලයේ උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් එහි ඔක්සිජන් ප්‍රතිශතය පහළ යාම බව හෙළිව තිබේ.

නාරා ආයතනයේ පාරිසරික අංශයේ කණ්ඩායමක් කළ විමර්ශනයකින් අනතුරුව මේ බව හෙළිව තිබේ.

පසුගිය දිනවල නන්දිකඩාල් කලපුව හා ඊට සම්බන්ධ තවත් කලපුවක් වන වට්ටුවාගල් කලපුවේ විවිධ වර්ගවලට අයත් මසුන් දහස් ගණනක් මිය ගොස් තිබුණි.

මෙම සිද්ධියත් සැළවීමත් සමඟ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශ ලේකම් මංගලිකා අධිකාරී මහත්මියට උපදෙස් ලබා දී ඇත්තේ නාරා ආයතනයේ පරීක්ෂණ කණ්ඩායමක් කැඳවා මේ පිළිබඳ විමර්ෂණයක් සිදු කරන ලෙසය. ඒ අනූව, නාරා ආයතනයේ පාරිසරික අංශ ප්‍රධානී අස්මි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් හයදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ(04) එහි විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

එහිදී හෙළිවී ඇත්තේ මේ දිනවල එම ප්‍රදේශයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් කලපුව සහ මුහුද අතර සම්බන්ධය බිදී මෝයකට වැලිවැටියකින් හරස් වී ඇති බවය. එම නිසා කලපුවේ ජලය අඩුවී, එහි උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ.

ජලයේ ඔක්සිජන් ප්‍රතිශතය පහළ යාමට එය හේතුවී ඇති බව අනාවරණය වී ඇත. එමෙන්ම පසුගිය දිනවල එක්වරම ඇද හැලුණු වර්ෂාව නිසා කලපුවට විශාල වශයෙන් අපද්‍රව්‍ය එක්රැස් වීමද මසුන් මිය යාමට බලපා තිබෙන බව විමර්ශනයෙන් හෙළිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − 3 =