ත්‍රිවිධ හමුදාව වෙත පූර්ණ සහය ලබා දෙන බව අමෙරිකානු තානාපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ආපදා හේතුවෙන් පීඩාවට පත්වී සිටින ශ්‍රී ලංකා ජනතාවගේ ජනජීවිත යථාතත්වයට පත්කිරීම වෙනුවෙන් කැපවී සිටින ත්‍රිවිද හමුදාවන්ට අමෙරිකානු රජයේ පූර්ණ සහයෝගය සහ තාක්ෂණික සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා සදහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමඟ ඊයේ(05) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති “ආපදා තත්වය හමුවේ ත්‍රිවිද හමුදා කැපවීම් හා මැදිහත්වීම්”පිළිබඳ පැවති විශේෂ සාකච්ඡාවේදී ය.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා සමඟ පැවති සාකච්ඡාවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, ත්‍රිවිද හමුදාවන් විසින් ජන ජීවිත යථාතත්වයට පත්කිරීම සඳහා මේ වන විට දියත්කර තිබෙන කාර්යයභාරය විග්‍රහ කරන ලදි. ආපදා අවස්ථාවන් හිදී රාත්‍රී කාලයේ මානුෂීය මැදිහත්වීම් සඳහා දුෂ්කර ප්‍රදේශ වෙත ලඟාවීමට ත්‍රිවිද හමුදාවන් වෙත අත්‍යාවශ්‍ය උපකරණ සහ තාක්ෂණික මෙවලම් පිළිබඳ අවශ්‍යතාවය ද ඔහු විසින් පැහැදිලි කළේය.

එහිදී අමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් ඒ සඳහා අත්‍යාවශ්‍ය උපකරණ සහ තාක්ෂණික දැනුම මෙන්ම විශේෂඥ උපදෙස් කඩිනමින් මෙරට ත්‍රිවිද හමුදාවන් වෙත ලබාදෙන බවට එකඟතාවය පළකල අතර අමෙරිකානු රජයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් ලබාදෙන බව පැවසීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමඟ පැවති මෙම විශේෂ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි අමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක සම්බන්ධීකරණ නිළධාරී ජාකොබ් ඉන්ග්ලිෂ් (Jacob English) මහතා සහ මෙරට ත්‍රිවිද හමුදාව නියෝජනය කරමින් එම ආයතනයන්හි ප්‍රධානීන් පිරිසක් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *