බෞද්ධ දර්ශනයේ වටිනාකම ජනපති මෛත්‍රී පහදයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේ කිසිදු රටක දක්නට නොමැති පරිත්‍යාගශීලිත්වයක් සහ මානුෂිකත්වයක් ශී‍්‍ර ලාංකීය ජනතාව තුළ දක්නට ඇත්තේ බෞද්ධ දර්ශනය පසුබිම් වූ සමාජ වටපිටාව නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

පසුගියදා ඇති වූ ව්‍යසනයේදී ආදරයෙන්, කරුණාවෙන් සහ පරිත්‍යාගශීලිත්වයෙන් යුතුව විපතට පත් ජනතාවගේ දුක්, කදුළු සමග එක්වෙමින් ඔවුන් සනසන්නට සියලු ජනතාව එකාවන්ව රොද බැඳ සිටියේ බෞද්ධ දර්ශනය මත පදනම් වූ උතුම් මානුෂීය ගුණාංගයන්ගෙන් ශී‍්‍ර ලාංකීය ජනතාවගේ හදවත් පොහොසත් නිසා බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ බෙන්තර ඓතිහාසික උඩකොටුව බෝධිසමීප භීමතිත්ථ රාජමහා විහාරාධිපති පූජ්‍ය බෙන්තර ජිනානන්ද ස්වාමින් වහන්සේට ගාලු කෝරළයේ ප‍්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ සන්නස් පත‍්‍ර ප‍්‍රදානය කිරීමේ සහ විහාරස්ථානයේ අභිනව බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (06) පස්වරුවේ එක් වෙමිනි.

බෙන්තොට පුරවරයට මහත් ආශිර්වාදයක් ගෙනෙන හා දෙස් විදෙස් ජන ආකර්ෂණයට ලක්වන අයුරින් බෙන්තර ගංතෙර අසබඩ ගල්තලාව මත සමාධි මුද්‍රාවෙන් යුතු මෙම බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ඉදිකර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ජනතා වන්දනාමානය සඳහා විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ශාස්ත‍්‍රපති, බෙන්තර ජිනානන්ද හිමිපාණන් වහන්සේගේ ආගමික සහ සමාජයීය මෙහෙවර සහ ධර්මධර, විනයධර, උගත් සිල්වත් ගුණය අගයමින් කල්‍යාණිකාරක සංඝසභාව විසින් සද්ධර්ම කීර්ති ශී‍්‍ර අත්ථදස්සි ගෞරව නාමය සහිත ගාලු කෝරළයේ ප‍්‍රධාන සංඝනායක ධූරයෙන් උන්වහන්සේ පුදනු ලැබ තිබේ.

අභිනව මහා නායක හිමිපාණන් වහන්සේ වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

පුණ්‍යෝත්සවයේ ප‍්‍රධාන අනුශාසනාව කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ ශී‍්‍ර රාහුල ස්වාමින් වහන්සේ විසින් සිදු කළ අතර පළාතේ ගෞරවනීය මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් සහ ප‍්‍රදේශයේ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *