මැයි මාසයේ ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීමේ අඩුවක්

(කොළඹ, ලංකාපුවත්) – පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය මැයි මාසය තුළ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම තරමක් දුරට අඩුවී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

මැයි මාසය තුළ සංචාරකයින් 121,891දෙනෙකු පැමිණි ඇති අතර පසුගිය වසර හා සැසදීමේ දී එය සියයට 2.5ක අඩු වීමකි.
එසේම මෙම වසරේ මුල් මාස 05තුළ සංචාරක පැමිණීම 887,093ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

මැදපෙරදිග සිට සංචාරකයින් 3,236 ද සෞදි අරාබියේ සිට සංචාරකයින් 2,279දෙනෙකු ද දිවයිනට පැමිණ ඇත.

එසේම සමස්ථයක් ලෙස දකුණු ආසියාවෙන් හා ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාවේ ද අඩු වීමක් දැකිය හැකිය. පිළිවෙලින් එම ගණන 43,511ක් හා 34,167කි.

මාලදිවයිනෙන් පැමිණ ඇති සංචරකයින් සංඛ්‍යාව 5,364දෙනෙකි. පාකිස්ථානයෙන් 2,333ක් ද බංග්ලාදේශයෙන් 1,104දෙනෙක් ද පැමිණ ඇත. එසේම නැගෙනහිර ආසියාවේ ඉන්දුනීසියාවෙන් 1,494ක් සහ මැලේසියාවෙන් 2,089දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට පැමිණි චීන සංචාරකයින් සංඛ්‍යාවේ සියයට 16.5ක වර්ධනයක් දක්නට ලැබෙන අතර එම සංඛ්‍යාව 18,491කි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා සියයට 05ක දායකත්වයක් ලබා දෙනුයේ සංචාරක කර්මාන්තය වේ. එසේම 2016 වසරේ දී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ආදායම සියයට 14කින් ඉහළ ගොස් ඇති අතර එය මිලියන 2.05කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *