ශ්‍රී ලංකා නව විදෙස් ඇමති, ඉන්දීය අගමැති මුණ ගැසේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් ඉන්දියාවේ නවදිල්ලිනුවර දී ඊයේ (06) සිදු විය.

එහිදී මෝදි අගමැතිවරයා පසුගිය මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැති ජාත්‍යන්තර වෙසක් දින අවස්ථාවට සහභාගී වීමේ සංචාරය ඉතා විශේෂ එකක් බව සිහිපත් කළේය. එසේම නව විදේශ අමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කළ රවී කරුණානායක මහතාට ද අගමැතිවරයා සුබ පැතුම් එක් කර සිටි බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ මෑතකාලීනව සිදුවූ ගංවතුර හා නාය යාම් හේතුවෙන් සිදු වූ ජීවිත හානි වීම් සහ ආපදා තත්ත්වය පිළිබඳව ඉන්දීය අගමැතිවරයා සිය ශෝකය මෙහිදී පල කරන ලදි. එසේම මෙම ව්‍යසනය අවස්ථාවේ මෙන්ම ඉදිරියටත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සහයෝගය ලබා දීමට ඉන්දියාව සූදානම් බවද හෙතෙම අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සිදු වූ අධික වැසි සහිත කාලගුණය සමඟ පැවැති ආපදා තත්ත්වයේ දී කඩිනමින් ආධාර කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් රවී කරුණානායක අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී ඉන්දීය රජයට ස්තුතීය පුද කරන ලදි.

ඉදිරියට ද ඉන්දියාව සමඟින් සමීප සබදතා වර්ධනයක් සදහා ශ්‍රී ලංකා රජය සූදානම් බවද අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *