ශ්‍රී ලංකාවට කඩුලු 07ක ඉතිහාසගත විශිෂ්ට ජයක්

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) සමත් විය.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගයේදී ලකුණු 322ක ඉලක්කයක් හඹා ගොස් එය කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණි.

ලන්ඩන්හී කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.

මාස 10ක විරාමයකින් පසුව මැතිව්ස් සහභාගී වූ පළමු එක්දින ජාත්‍යන්තර තරගය මෙයයි.

රෝහිත් ශර්මා සහ ශිඛර් ධවාන් ඉන්දීය ඉනිම ආරම්භ කළේය.

ඉන්දීය කණ්ඩායමමේ පළමු කඩුල්ලට ලකුණු 138ක ශක්තිමත් ආරම්භයක් ලබා දීමට ඔවුන් දෙදෙනා සමත් විය.

අඛණ්ඩ ලෙස එක්දින ජාත්‍යන්තර තරග 3කදී ලකුණු 100කට වඩා වැඩි සබදතාවක් වාර්තා කළ පළමු ඉන්දීය පිතිකරු යුගලය වන්නේද ශර්මා සහ ධවාන්.

එක්දින දිවියේ, 31 වැනි අර්ධ ශතකය වාර්තා කළ ෂර්මා ඉන්දීය පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 78 ටයි.

නුවන් ප්‍රදිප්ගේ පන්දුවක් හමුවේ නායක විරාත් කෝලි ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ අතර, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ තරගයකදී ඔහු ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ පළමු අවස්ථාව එය වේ.

ඔහු එලෙස එක්දින තරගයකදී ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූයේ වසර 3කට පසුවයි.

යුවරාජ් සිං ලකුණු 7 කට දවා ගැනීම අසේල ගුණරත්න සමත් විය.

එක්දින දිවියේ 10 වැනි ශතකය වාර්තා කළ, ආරම්භක පිතිකරු ශිකර් ධවාන් ලකුණු 125 ක් රැස් කළේය.

එය ශූරයින්ගේ කුසලාන තරගාවලියේදී ඔහු ලැබූ තුන්වැනි ශතකයයි.

ලසිත් මාලිංග ලකුණු 70කට කඩුලු 2ක් දවා ගත්තේය.

ඉන්දිය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 321 කි.

ලකුණු 322ක ඉලක්කයක් වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ශ්‍රි ලංකා ඉනිම ආරම්භ කළේය.

පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 11කට සීමා කරමින් දික්වැල්ල ලකුණු 7කට පිටියෙන් ඉවත් වුණේ බුව්නේෂ්වර් කුමාර්ගේ පන්දුවකටයි.

අනතුරුව ගුණතිලක සමග පිටියේ ස්ථාවර වූ කුසල් මෙන්ඩිස්, ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ලට ලකුනු 159ක සබදතාවක් ගොඩනැඟුවේය.

ශූරයින්ගේ කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් ගොඩනැගූ තුන්වැනි ඉහළම ලකුණු සබඳතාවය එයයි.

එමෙන්ම ශූරයින්ගේ කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව පිතිකරුවන් දෙදෙනෙක් ගොඩනැගූ තුන්වැනි ඉහළම ලකුණු සබඳතාවය ද එය වේ.

එක්දින දිවියේ සිව් වැනි අර්ධ ශතකය වාර්තා කළ දනුෂ්ක ගුණතිලක ලකුණු 76 ක් රැස් කළේය.

10 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 89ක් රැස් ක‍ලේ 4 පහර 11ක් සහ 6 පහරක්ද සමගිනි.

ලකුණු 47ක් රැස් කරගෙන සිටි කුසල් ජනිත් පෙරේරා ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.

අසේල ගුණරත්න සහ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

4 පහර 6ක් ද සමගින් එක්දින දිවියේ 33 වැනි අර්ධ ශතකය වාර්තා කළ මැතිව්ස් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේය.

ඔවුන් දෙදෙනා පන්දු 34කදී සිව්වැනි කඩුල්ලට ලකුණු 51ක නොබිදුනු සබදතාවක් ගොඩනැගුවේය.

අසේල ගුණරත්න පන්දු 21කින් 4 පහර 2ක් සහ 6 පහර 2ක්ද සමගින් නොදැවී ලකුණු 34යි.

තරගය අවසන් විමට පන්දු 8ක් ඉතිරිව තිබියදී කඩුළු 3ක් දැවී ශ්‍රී ලංකාව ලකුණු 322ක ඉලක්කය පසු කළේය.

ලකුණු 300ට වඩා වැඩි ඉලක්කයක් විදෙස් රටකදි හඹා ගොස් වැඩිම තරග සංඛ්‍යාවක් ජය ගත් කණ්ඩායම වන්නේද ශ්‍රී ලංකාවයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ තරග 8ක් ජයගෙන සිටි ඉන්දියාවයි.

මෙම ජයග්‍රහණය එක්දින ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම වැඩිම ලකුණු සංඛ්‍යාව හඹා ගොස් තරගයක් ජය ගත් අවස්ථාව සම කිරිමක්ද වේ.

2006 වසරේදී ලීඩ්ස්හිදි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 322ක ඉලක්කයක් හඹා ගොස් සත්කාරක එංගලන්තයට එරෙහි තරගය ජය ගත්තේය.

තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්ට හිමිවිය.

එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව බී කාණ්ඩයේ ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයට පත් වූ අතර තවමත් එහි පෙරමුණේ රැදී සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 1 =