ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කරන බවට උන්වහන්සේගේ නීතීඥවරයාගෙන් පොරොන්දුවක්

(කොළඹ, ලංකාපුවත්) –බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවට උන්වහන්සේගේ නීතීඥවරයා අධිකරණය හමුවේ අද(12) පොරොන්දු විය.

ඒ අනුව උන්වහන්සේට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටියත් අධිකරණය වරෙන්තු නිකුත් කර නොමැත.

ඥානසාර ස්වාමීන් වහන්සේ අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුව මෙලෙස අභියාචනාධිකරණයේ දී අද විභාගයට ගන්නා ලදි.

පසුගිය වසරේ ජනවාරි 25 වනදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී අධිකරණයට අපහාස වන ආකාරයෙන් ක්‍රියාකළ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා ඇත.

මෙහිදී ඥානසාර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා කියා සිටියේ ඥානසාර ස්වාමීන් වහන්සේට එල්ලවී ඇති තර්ජන හේතුවෙන් උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී නොසිටින බවය. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව ඥානසාර ස්වාමීන් වහන්සේට එරෙහි මෙම නඩුව ලබන මස 18, 19 සහ 20 යන දිනවලදී විභාගයට ගැනීමට අධිකරණය දින නියම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *