හෘද රෝගී පොරොත්තු ලේඛනය අවම කිරිමට වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේ දී හෘද රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන දිවයින පුරා ඉදිකිරීමට බලාපොරොත්තු වන අතරම එමගින් හෘද රෝගීන්ගේ පොරොත්තු ලේඛනය අවම කර ගැනීමට හැකියාවක් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
“හෘද රෝග අවම කිරිම සඳහා රජය විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. හෘද රෝග ඇතුලු අනෙකුත් රෝග කළමනාකරණය කර ගැනීම තුළින් රජයට දැරිමට සිදුවන වියදම අවම වනවා. හෘද රෝග වෛද්‍යවරුන් පළාත් සභා යටතේ පාලනය වන ප්‍රධාන රෝහල්වලට ද අනුයුක්ත කර තිබෙනවා. එම නිසා හෘද රෝග පරීක්ෂණ සෑම පළාතක ම සිදුවන අතර, තව ද හෘද රෝගීන්ට නොමිලේ ස්ටෙන්ස් ලබාදීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව සිදු කරනවා. ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද විධිමත් කිරීමට පියවර ගත්තා. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය සංවර්ධනය කරන අතර, ඊට අවශ්‍ය නවීන උපකරණ සහ සියලු ම පහසුකම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා” යැයි ද පැවසීය.

කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති ශ්‍රී ලංකා හෘද සංගමයේ 17 වන සැසිවාරයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා හෘද සංගමයට වසර 40 ක ඉතිහාසයක් තිබේ. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මෙම සංගමය ගනු ලබන තීන්දූ තීරණ පිළිබඳ ව සතුටට පත් වන බවත් ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලට හෘද රෝගවලින් විශාල බලපෑමක් සිදු නොවන බවත් පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා හෘද සංගමයේ සභාපතිනී වෛද්‍ය නිමාලි ප්‍රනාන්දු මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *