ගෘහ සේවිකාවකට ඉතිහාසයේ ලැබුණු ඉහළම හිග වැටුප

(කොළඹ, ලංකාපුවත්) – වසර 15ක් වැටුප් රහිතව මැද පෙරදිග සේවයේ නියුතු කාන්තාවකට රුපියල් ලක්‍ෂ 49ක හිඟ වැටුපක් ලබා දීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ මැදිහත්වීමෙන් පියවර ගෙන ඇත.

මඩකලපුව එරාවුර් හි පදිංචි ඥානප්‍රකාශම් නිශාන්තිනී නැමැති මෙම කාන්තාව විදේශ ගතව ඇත්තේ වයස අවුරුදු 14දීය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමකින් තොරව ව්‍යාජ තොරතුරු සපයනමින් ඇය විදේශ ගතව තිබේ.

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක වශයෙන් එකම නිවසක වසර 15ක් සේවය කර ඇති ඇයට වැටුප් කිසිවක් ලැබී නොමැත. 2015 වසරේදී ඇය සෞදි තානාපති කාර්යාලයේ කාන්තා සුබ සාධන මධ්‍යස්ථානයට ද ඒ පිළිබඳ පැමිණිලි කර තිබේ.

මෙම තොරතුරු දැනගත් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සෞදි තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක ඉන්දික තිලකරත්න මහතාට අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස උපදෙස් ලබා දී ඇත. ඒ අනුව සෞදියේ කම්කරු අමාත්‍යාංශයට ඒ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද ඔහු කටයුතු කර තිබුණි.

ඒ අනුව ඇයට හිමි රුපියල් ලක්‍ෂ 49ක හිඟ වැටුප ලබා දීමට එරට කම්කරු අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙම මුදල ඉතිහාසයේ ගෘහ සේවිකාවකට ලබා දුන් ඉහළම හිඟ වැටුප් ප්‍රමාණය ද වේ.

මේ වන විට ඥානප්‍රකාශම් නිශාන්තිනි මහත්මිය සෞදි තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවසේ රැදී සිටින අතර අමාත්‍යරියගේ උපදෙස් පරිදි ඇයව හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කෙරෙමින් පවතී.

මේ වන විට එම කාන්තාවගේ මව හා බාල සොහොයුරා මඩකලපුව, එරාවූර් ප්‍රදේශයේ ජීවත් වන අතර ඇයගේ පියා මිය ගොසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *