ආගමික සහජීවනයට බාධා එල්ල වන්නේ නම් නව නීති ගෙන එන බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – අවශ්‍යතාවක් ඇති වුවහොත් නව නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

යම් ආගමකට, ජන වර්ගයකට විරුද්ධව වෛරය පතුරුවන හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන අයට එරෙහිව නීත්‍යනුකූලව පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේ තීරණය කළ බවත්, ඒ අනුව කටයුතු කරන ලෙස පොලීසියට උපදෙස් ලබාදී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා අද (14) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

ඒ අනුව දැනටමත් යම් යම් පිරිස් අත්අඩංගුවට ගෙන පොලීසිය විසින් නීතිමය වශයෙන් කටයුතු කරන බවත්, අවශ්‍ය වුවහොත් නව නීති සම්මත කර ගැනීමට ක්‍රියා කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත්වූයේ මේ රටේ සංහිඳියාව හා සහජීවනය ඇති කිරීමට බවත්, ඒ අනුව ක්‍රියා කිරීම අලුත් තත්ත්වයක් නොව එම වැඩපිළිවෙළ තවදුරටත් තහවුරු කිරීමක් පමණක් බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

අවුරුදු 30ක යුද්ධයෙන් පසු සියලු ජනයා ඒකරාශීව එකමුතුව ඉදිරියට යාමට කටයුතු කරමින් සිටින බවත්, වෙනත් ආගමකට වෙනත් සංස්කෘතියකට ගරු කිරීමට අපට හැකියාවක් නැතිනම් ශ්‍රී ලාංකික විය නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය.

මුස්ලිම් ආගමික ස්ථාන හා ව්‍යාපාරික ස්ථාන කිහිපයකට පහරදීම් සම්බන්ධයෙන් වාර්තා වූ බවත්, ඒ සම්බන්ධයෙන් පොලීසිය මේවන විටත් ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =