ආපදාවන්ට ලක්වුවන්ට කඩිනමින් නිවාස දීමට ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ආපදා තත්ත්වයෙන් නිවාස අහිමිවූවන්ට නව නිවාස ඉඳිකර දීමේ වැඩසටහන කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම එම නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙල සඳහා ජනාධිපතිතුමා යටතේ පවතින ආයතනයක් වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් රුපියල් බිලියන 05ක මුදලක් ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත.

ආපදා තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම නිවාස අහිමිවූවන්ට කුලී පදනම මත නිවාස ලබා ගැනීම සඳහා මසකට රුපියල් 7500 බැඟින් මාස 3ක කාලයක් සඳහා මුදල් ලබා දීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ද ජනාධිපතිතුමා පැවසීය.

ඒ අනුව එම කටයුතුද කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇත.

ඊයේ(13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති පශ්චාත් ආපදා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම අදහස් පළ කළේය.

විනාශ වූ පාසල් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ගෙන් කරුණු විමසා තිබේ.

ඒ අනුව විනාශයට පත්වූ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලියේදී පාසල්, රෝහල් සහ නිවාස ඉදි කිරීම වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

විදේශ ආධාර බෙදා දීම පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් ආපදා කලමනාකරණ අමාත්‍යාංශය මඟින් පවත්වාගෙන යාමේ වැදගත්කමද පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 1 =