මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ගිනි තැබීම්වලට ඇල්ලූ සැකකරුගෙන් දීර්ඝ ප්‍රශ්ණ කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – මුස්ලිම් ජාතිකයින්ට අයත් ව්‍යාපාරික ස්ථාන ගිනි තැබීමේ සිද්ධිවලට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුගේ ප්‍රකාශ මත ඉදිරි විමර්ශන සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

පසුගියදා හුංගම සහ මහරගම ප්‍රදේශයන්හි සිදු වූ මුස්ලිම් ජාතිකයන්ට අයත් ව්‍යාපාරික ස්ථාන ගිනිතැබීමේ සිද්ධිවලට සම්බන්ධ බවට සැක පිට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි. එම සැකකරුව මේවන විට රැදවුම් නියෝග මත රදවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්ණ කරනු ලැබේ.

අදාළ සැකකරු වයස අවුරුදු 32ක්වන අවිවාහක පුද්ගලයෙකි. ඔහුගේ පියා වෛද්‍යවරයෙක් වේ.

මෙම සැකකරු වසර දෙකක් පමණ ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ පුද්ගලයෙකු බවට අනාවරණය කරගෙන ඇත.දැනට දෙහිවල ප්‍රදේශයේ අවන්හලක අරක්කැමියෙකු ලෙස සේවය කරමින් සිටින බවද හෙළිව තිබේ.

සැකකරු 2014 වසරේ සිට බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරියෙකු ලෙස කටයුතු කර ඇත.

මෙම සැකකරු සමග සමීප සබදතා පැවැත්වු දැනට බොදුබල සේනා සංවිධානයේ සිටිමින් කටයුතු කරන පුද්ගලයන් කිහිපදෙනෙකු හා ස්වාමින් වහන්සේලා කිහිපනමක් මෙම ගිනිතැබීමේ සිද්ධි සම්බන්ධයෙන් ඉදිරියේ දී ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *