කසළ කළමනාකරණයට කාර්ය සාධන බලකායක් සහ මෙහෙයුම් කාර්යාලයක්

(කොළඹ, ලංකාපුවත්) – කසළ කළමනාකරණය පිළිබඳ කාර්ය සාධන බලකායක් හා මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව පළාත් සභා හා පළාත් පලාන අමාත්‍යංශය සදහන් කරයි.

මෙම වැඩපිළිවෙල හෙට(16) ‍ආරම්භ කරන අතර අදාළ කාර්ය සාධන බලකායේ සමාජිකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කොළඹ පදනම් ආයතනයේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී සිදු කෙරෙනු ඇත.

ගෝලීය උණූසුම අවම කිරීම සදහාවන පැරිස් සමුළුව 2015 වසරේ දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම සදහා වන සම්මුතියට ශ්‍රී ලංකාව එකඟ වූ අතර 2016 වසරේ මාර්තු 16වනදා ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි විය. ඪට අදාළ කසළ කළමනාකරණ කටයුතු මෙහෙයවීම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට භාර විය. ඒ සදහාවන ජාතික වැඩපිළිවෙලක් ලෙස මෙම කටයුත්ත සිදු කෙරෙනුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ මැදිහත් වීමෙනි.

අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා විසින් මේ පිළිබඳ දැනුවත් කෙරෙමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ‘කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි නගර අලංකාරය විධිමත්ව පවත්වාගෙන යාම සහ කසළ කළමනාකාරණය සදහා කාර්යසාධන බලකායක් හා මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කිරීම’ යන කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය ලැබී ඇත.

කසළ කළමනාකරණය පිළිබඳ කාර්ය සාධන බලකාය සදහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, ආරක්‍ෂක අමාත්‍යංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය, ජනමාධ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය හා දේශීය අමාත්‍යංශය, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය, බුද්ධ ශාසන අමාත්‍යංශය, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයන් හි ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක ප්‍රධානීන් ඇතුලත් වේ.

එම කාර්ය සාධන බලකාය සෑම මාස දෙකකට වරක් රැස්වීමට නියමිතය.

එසේම ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය, පරිසර පොලිසිය, ත්‍රිවිධ හමුදා සමාජිකයින් සහ කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින්ගෙන් සමන්විතව කසළ කළමනාකරණය පිළිබඳ මෙහෙයුම් කාර්යාලයක් ද ස්ථාපනය කෙරේ.

කසළ සම්බන්ධයෙන් පැන නැගෙන ගැටළු මහජනතාවට මෙම මෙහෙයුම් ඒකකයට යොමු කිරීමේ අවස්ථාව ඉදිරියේ දී හිමිවේ.

කසළ කළමනාකරණය පිළිබඳ කාර්ය සාධන බලකායේ හා මෙහෙයුම් කාර්යාලයේ කටයුතු ඉදිරි කාලයේ දී දිවයිනේ සෙසු පළාත් නවය තුළට ද දියත් කරන බව පළාත් සභා හා පළාත් පලාන අමාත්‍යංශය පැවසීය.

ශ්‍රී ලංකාවේ දිනකට එකතු වන මුළු කුණු කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6400ක් ලෙස මේවන විට ගණන් බලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *