තැපැල් වර්ජනය නිමයි

(කොළඹ, ලංකාපුවත්) – තැපැල් සේවකයින් ක‍්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (14) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් විය.

ප‍්‍රදේශ කිහිපයක තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක හෝටල් සඳහා ලබාදීමේ සූදානමක් ඇති බව පවසමින් ඔවුන් දින දෙකක මෙම වර්ජනය ආරම්භ කළේය.

ඒ අනුව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අගමැති ලේකම් කාර්යාලයේදී පැවැති බවය. ඊට අනුව එළඹෙන 26 වැනිදා විසඳුම් නොලැබුණ හොත් සමස්ථ තැපැල් දෙපාර්තමේන්තුවම දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව පැවසීය.

තැපැල්පති රෝහණ අබේරත්න මහතා කියා සිටියේ දෙදින තැපැල් වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි රැසක් ගොඩගැසී ඇති බවට පළවන වාර්තා අසත්‍යය බවය.

ඔහු කියා සිටියේ, “කිසිඳු විශාල ලිපි ප්‍රමාණයක් ගොඩ ගැහිලා නැහැ. මේක වැරදි වැටහීමක්. සෑම දවසකම මධ්‍යම තැපැල් හුමවාරුවේ ඇති ලිපි ප්‍රමාණය හවස් වෙද්දි අපි ගමනාන්තයන් වෙත යොමු කරනවා. එතකොට බෙදා ගන්න බැරි කියලා ලිපි ඉතිරි වෙන්නේ නැහැ. වර්ජනය ආරම්භ වුණාට පස්සේ තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළට ලිපි පැමිණෙන්නේ නැහැ.” යනුවෙනි.

කෙසේවෙතත් ලිපි බෙදා හැරීමේ කටයුතු අද (15) දිනයේ වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම අරමුණ බව තැපැල්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 − five =