මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයට බෝම්බ ගැසූ දෙදෙනෙක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.

පසුගිය මැයි 21වනදා අළුයම් කාලයේ දී කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම සදහා කුරුණෑගල පොලිස් ස්ථානයේ විමර්ශන කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන් දෙදෙනා බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන බව ද හෙළිව තිබේ. මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි සදහන් වේ.

පසුගිය මැයි 21වන දින කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයේ දී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඇති වූ සිද්ධියෙන් පසුව මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයට මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධව සීසීටීවී දර්ශන පොලිස් විමර්ශකයන් වෙත මේවන විට ලැබී ඇත. එම දර්ශන පරිශිලනයෙන් පසු අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

ප්‍රහාරයට පැමිණිමට භාවිතා කළ යතුරු පැදි දෙකක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් ජුනි 19වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + two =