UPDATE බහුතරය පෙන්වන්නැයි විග්නේෂ්වරන්ට අභියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතාට පළාත් සභාවේ බහුතර බලය තහවුරු කර පෙන්වන ලෙස පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා දැනුම්දීමක් සිදු කර ඇත.

ප්‍රධාන අමාත්‍යවරයාට බහුතර බලය තිබෙන බව ඔප්පු කළ හැකි වුවහොත් තවදුරටත් මහඇමති ධූරයේ සිටිය හැකි බවත් එසේ නොවුන හොත් ඔහුට ධූරයෙන් ඉවත් වීමට සිදු වන බවද සඳහන් වේ.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා පළාත් සභා මන්ත‍්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් ඊයේ (14) ආණ්ඩුකාරවරයා වෙත භාරදී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් ඔහු මෙම දැනුම්දීම සිදු කර තිබේ.

රෙජිනෝල්ඩ් කුරේ ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් සඳහන් කළේ මෙවැනි පෙත්සමක් භාර දුන් විට එය නැවත තහවුරු කර ගැනීම තමන්ගේ රාජකාරිය බවයි.

ඒ අනුව ඉදිරියේදී අදාළ මන්ත්‍රිවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම සහ අත්සන් තහවුරු කර ගැනීම ක්‍රියාවලිය මේ වන විටත් ආරම්භ වී ඇති බවද පැවසීය.

 

විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංගයක්

(කොළඹ, ලංකාපුවත්) –උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතාව ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා පළාත් සභා මන්ත‍්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් භාරදී ඇත.

පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා වෙත ඊයේ (14) රාත‍්‍රියේ මෙම විශ්වාසභංග යෝජනාව භාරදී තිබේ.

උතුරු පළාත් සභා අමාත්‍යවරුන්ගේ වංචා, දූෂණ සෙවීමට පත් කළ කමිටුවේ නිර්දේශ මත පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට හා කෘෂිකර්ම අමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ප‍්‍රධාන අමාත්‍යවරයා ඊයේ නියෝග කර තිබුණි.

එසේම පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ධීවර අමාත්‍යවරයාට මසක කාලයක් නිවාඩු ලබා ගන්නා ලෙසටයි ප‍්‍රධාන අමාත්‍යවරයා උපදෙස් දී තිබුණි.

අමාත්‍යවරුන් 21 දෙනෙකු එක්ව ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහිව මෙලෙස විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ඉන් අනතුරුවය.

ඒ අනුව උතුරු පළාතේ මීළග ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස පළාත් සභාවේ වත්මන් සභාපති සී වී කේ සිවඥාණම් පත් කරන ලෙසද අදාළ මන්ත‍්‍රී කණ්ඩායම ආණ්ඩුකාරවරයා වෙත යෝජනා කර තිබේ.

උතුරු පළාත් සභාවේ සිටින සමස්ථ මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 38කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 19 =