ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට පකිස්තානය

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පකිස්තානය ඊයේ (14) සමත් විය.

පළමු අවසන් පූර්ව තරගයේ දී සත්කාරක එංගලන්තය කඩුලු 08කින් පරාජය කරමින් මෙලෙස පකිස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 211ක් පමණි.

තරගයේ මුල සිටම පකිස්තාන පන්දු යවන්නන් එංගලන්ත පිතිකරුවන්ට එල්ල කළේ දැඩි පීඩනයකි.

තරගයේ වීරයා සම්මානය දිනාගත් හසන් අලි ලකුණු 35කට කඩුලු 03ක් දවා ගන්නා ලදි.

පකිස්තානය සිය ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියේ 38 වන පන්දුවාරයේ දී කඩුලූ 02ක් පමණක් බිඳ වැටී තිබියදීය. ආරම්භක කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවක් ගොඩනැගු අසාර් අලි ලකුණු 76ක් සහ ෆකාර් සමාන් ලකුණු 57ක් රැස් කළේය.

පකිස්තාන කණ්ඩායමක් ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයවේ.

ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා අනෙක් කණ්ඩායම තෝරා ගැනෙන තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරගය අද (15) පැවැත්වේ. ඒ, ඉන්දියාව සහ බංග්ලාදේශය අතරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − four =