විෂ පෙළ පොත් කතාව අසත්‍යයක්

(කොළඹ, ලංකාපුවත්) – ළමයින්ට අහිතකර කිසිඳු විෂ රසායන ද්‍රව්‍යයක් 07 ශ්‍රේණිය භූගෝල විද්‍යා පොතේ අන්තර්ගතව නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.

ඊයේ(15) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ පිළිබඳ පැහැදිළි කරන ලදි.

මෙම පොත සම්බන්ධයෙන් ඇතැම් පිරිස් නගන අභූත චෝදනාවලට බිය විය යුතු නැති බව අධ්‍යාපන කොමසාරිස් ජෙනරාල් අයි එම් කේ බී ඉලංගසිංහ මහතා පැවසීය.

මේ අතර ධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන ලද්දේ 07 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව පෙළ පොත මුද්‍රණය කිරිමට, කෘතීම කඩදාසි යොදාගෙන ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන ප්‍රකාශ, හෙළා දකින බවය.

එම පෙළ පොත සෞඛ්‍යාරක්ෂිත බවට දේශීය හා ජාත්‍යන්තර තත්ව සහතික හිමි වී තිබේ. එබැවින් නොමග යවන එවැනි ප්‍රකාශවලට හසු නොවන ලෙස නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් හා දරුවන්ගෙන් ඉල්ලා සිටියි..

කෘතීම කඩදාසි යොදාගැනීමෙන්, පාසල් දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් ඇති බව ජාතික පුවත්පතක් පසුගිය 11 වැනිදා වාර්තා කර තිබුණි. ස්වාභාවික ව්‍යාසනවලට ඔරොත්තු දෙන ලෙස පෙළ පොත් සකස් කිරීමට රජයේ අවධානය යොමු විය.

එමෙන්ම ඉතා නිවැරදි සිතියම් හා වර්ණ මුද්‍රණ්‍ය කිරීමේ අවශ්‍යතාව ද මතුවී තිබේ. මේ නිසා වසර 5කට ආසන්න කාලයක් පරිහරණය කළ හැකි අයුරින් පෙළ පොත් නිර්මාණ්‍ය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස භූගෝල විද්‍යා පොත මාධ්‍ය 3කින්, පිටපත් ලක්ෂ 5ක් මුද්‍රණය කෙරුණි.

ඊට භාවිත කළ කඩාදාසිවල කිසිදු බැර ලෝහයක් හෝ විෂ රසායන අඩංගු නොවන බවට එස්.ජී.එස්. සහතිකයෙන් හා ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණවලින් ද තහවුරු කර තිබේ.

එවැනි පසුබිමක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි චෝදනා ඉදිරිපත් කරමින් පාසල් දරුවන් හා දෙමාපියන් බියට පත්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඔවුන්ට එරෙහිව නිත්‍යානුකූලව කටයුතු කිරීමට ක්‍රියා කරන බව ද එම නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *