පිළියන්දල වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගිවූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩිතබා පොලිස් නිලධාරියෙකු හා කුඩා දැරියක ඝාතනය කිරීමත්, තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට හා සිවිල් පුද්ගලයින්ට තුවාල සිදුකිරීමත් කළ බව කියන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් දීර්ඝ විමර්ශනයක් සිදුකොට ඊයේ (15) මැදිරිගිරිය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

ඉකුත් මැයි මස 09 වන දින පිළියන්දලදී සිදුවූ මෙම අපරාධ සිද්ධියට අදාළව මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සඳහා පැමිණි යතුරුපැදිය ධාවනය කරවීම, මනුෂ්‍ය ඝාතන කිරීමට කුමන්ත්‍රණ කිරීම, ආධාර අනුබලදීම හා මනුෂ්‍ය ඝාතනය සිදුකිරීම යන චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගත් බව සඳහන්ය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 10 ක්ද පොලීසිය බාරයට ගෙන තිබේ.

කුරුන්ද පාර, මීගම, දර්ගා නගරයේ පදිංචි 27 හැවිරිදි සැකකරු අද (16) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

එසේම අත්අඩංගුවට ගත් මෙම සැකකරුට එරෙහිව අම්බලන්ගොඩ, ඌරගස්මංහංදිය, අහුංගල්ල යන පොලිස් ස්ථාන මගින් පවත්වාගෙන යනු ලබන නඩු කිහිපයක් සඳහා වරෙන්තු නිකුත් කර තිබී ඇති බවද සඳහන්ය.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *