ආපදාවට පත් ප්‍රදේශ පිළිසකර කිරීමට අගමැතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ආපදාව හේතුවෙන් විනාශයට පත්වූ මාර්ග පද්ධති පිළිසකර කිරීමට මූලිකත්වය ලබාදී කුඩා තේ වතු හිමියන්ට තේ දළු, කර්මාන්ත ශාලා වෙත ප්‍රවාහනය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සලසා දිය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ආපදාවෙන් විපතට පත් බදුරලිය ඇතුළු ප්‍රදේශ රැසක නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් අනතුරුව පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (15) පැවති සාකච්ඡාවේදීය.

ග්‍රාමීය ආර්ථිකය බිඳ වැටුණහොත් එය රටේ ආර්ථිකයට බලපාන හෙයින් ආපදාවට ලක්වූ කුඩා තේ වතු සහ මාර්ග පද්ධති යථා තත්ත්වයට පත්කරමින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම කඩිනමින් සිදුකළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ආපදාව හේතුවෙන් විනාශයට පත්වූ ඉඩම්, නිවාස, රෝහල් සහ පාසල් ආදිය ද කෙටි කාලයකින් යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ද ලබා දුන්නේය.

මෙම පිළිසකර කිරීමේ කටයුතු කඩිනමින් නිම කිරීමට ඇති බාධා ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට වජිර අබේවර්ධන, තලතා අතුකෝරළ, සාගල රත්නායක යන අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් විජේමාන්න ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන්ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *