මහා පරිමාණ සුපිරි වෙළෙඳ සංකීර්ණ හිමි ආයතන පහකින් ඇමති ෆයිසර් ඉල්ලීමක් කරයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට තුළ ක්‍රියාත්මක මහා පරිමාණ සුපිරි වෙළෙඳ සංකීර්ණ හිමි ආයතන පහක ප්‍රධානීන්ගෙන් පළාත් සභා හා පළාත් පලාන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අද(16) විශේෂ ඉල්ලීමක් සිදු කරන ලදි.

එනම් එම ආයතන පාවිච්චි කරනු ලබන පොලිතින් බෑග් සීමා කරන ලෙසටත් ඒ වෙනුවට වෙනත් වැඩපිළිවෙලකට යොමුවන ලෙසත්ය.

අමාත්‍යවරයා කියා සිටියේ අදාළ සුපිරි වෙළෙඳ සංකීර්ණ 05 පමණක් වසරකට පොලිතින් මළු මිලියන 06ක් මුදා හරින බවය.

කසළ කළමනාකරණය පිළිබඳ කාර්ය සාධන බලකායක් හා මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල හදුන්වා දීම සහ ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ කරුණ සිහිපත් කළේය. කොළඹ පදනම් ආයතනයේ දී එම උත්සවය පැවැත්විණි.

එසේම කසළ ගැටළුව පිළිබඳව මාධ්‍යයෙන් ද ජනතාවට අවබෝධයක් ලබා දීම සිදු කරන අතර එහි නෛතික පසුබිම ද මාධ්‍ය ඔස්සේ පෙන්වා දිය යුතු බව ෆයිසර් මුස්තෆා අමාත්‍යවරයා කියා සිටියේය.

කසළ කළමනාකරණය පිළිබඳ කාර්ය සාධන බලකාය සදහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, ආරක්‍ෂක අමාත්‍යංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය, ජනමාධ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය හා දේශීය අමාත්‍යංශය, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය, බුද්ධ ශාසන අමාත්‍යංශය, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයන් හි ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක ප්‍රධානීන් ඇතුලත් වේ.

එම කාර්ය සාධන බලකාය සෑම මාස දෙකකට වරක් රැස්වීමට නියමිතය.

එසේම ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය, පරිසර පොලිසිය, ත්‍රිවිධ හමුදා සමාජිකයින් සහ කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින්ගෙන් සමන්විතව කසළ කළමනාකරණය පිළිබඳ මෙහෙයුම් කාර්යාලයක් ද ස්ථාපනය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *