අමෙරිකානු සන්ධානය සිරියානු ප්‍රහාරක යානයක් බිම හෙලයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ නායකත්වයෙන් යුත් සන්ධානයට අයත් ප්‍රහාරක යානයක් විසින් සිරියාවේ රකා ප්‍රාන්තයේදී සිරියානු හමුදා යානයකට වෙඩි තබා බිම හෙලූ බව එක්සත් ජනපදය තහවුරු කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

සිරියානු යානය, අමෙරිකාවේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවේ (SDF -Syrian Democratic Forces) භට කණ්ඩායම් ආසන්නයේ බෝම්බ හෙලීමෙන් අනතුරුව එයට වෙඩි තැබූ බව පෙන්ටගනය තහවුරු කළේය.

සිරියාවේ ගැටුම් ආරම්භවීමෙන් අනතුරුව ඇමෙරිකාවේ නායකත්වයෙන් යුත් හමුදා විසින් සිරියානු යානයක් වෙඩි තබා බිම හෙලු ප්‍රථම වතාව මෙයයි.

එමගින් “භයානක ප්‍රතිවිපාක” ඇතිවිය හැකි බව පවසමින් සිරියාව එම ප්‍රහාරය හෙලා දැක තිබේ.

ප්‍රහාරයෙන් අනතුරුව යානයේ නියමුවා අතුරුදහන්ව සිටින බව සිරියානු හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සිරියානු ආණ්ඩුවට පක්ෂපාතී නිල නොවන සන්නද්ධ කණ්ඩායම් සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවේ භට කණ්ඩායම්වලට ප්‍රහාර එල්ල කරමින් ඔවුන් Ja’Din නගරයෙන් පලවා හැර තිබෙන බව ද පෙන්ටගනය සඳහන් කරයි.

එබැවින් ගුවන් ප්‍රහාරය ඔවුන්ට එරෙහි ප්‍රහාර නැවැත්වීමේ අරමුණින් සිය සන්ධානය ‘බලය විදහා දැක්වීමක්’ පමණක් බවත් පවසන එක්සත් ජනපදය, ඉන් අනතුරුව තමන් රුසියාව අමතා සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට උත්සාහ කරන මෙන් ඉල්ලීමක් කළ බව ද සඳහන් කළේය.

රුසියාව, සිරියාවේ අසාද් පාලනයට සහාය දක්වන රටකි.

මේ අතර IS ‘ඉස්ලාමීය රාජ්‍යය’ කැරලිකරුවන් ඉලක්ක කරමින් ඉරානයේ සිට සිරියාවේ නැගනහිර ප්‍රදේශයට මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ ‘විප්ලවීය හමුදාව’ (Revolutionary Guards) කණ්ඩායම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × five =