කොළඹ අපිරිසිදු කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරය අපිරිසිදු කිරීම සදහා සංවිධානාත්මක වැඩපිළිවෙලක් දියත් වෙමින් පවතින බව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් වී.ඒ.කේ. අනුර මහතා සදහන් කරයි.

මේ වන විට කොළඹ නගරය පුරා කුණු කඳු දැකිය හැකිය. එම කුණු නිවාසවලින් බැහැර කරන බවක් දක්නට නොලැබෙන අතර සංවිධානාත්මකව කොළඹ නගරය අපිරිසිදු කිරීම සඳහා එලෙස කසළ බැහැර කර ඇති බව නාගරික කොමසාරිස්වරයා ඊයේ(19) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

මේ අතර කුණු කසළ වෙන් නොකර ලබා දීම විශාල ගැටළුවක් වී ඇති බවත් ජනතාවගේ මෙම ක්‍රියාවලියට සහයෝග දැක්වීම සඳහා කුණු කසළ වෙන් කර ලබා දෙන ලෙසද නාගරික කොමසාරිස්වරයා ඉල්ලීමක් කරයි.

එලෙස නොකරන පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

එමෙන්ම මේ දිනවල මාධ්‍ය තුළින් යුද හමුදා නිලධාරින් විසින් කුණු ඉවත් කිරීමට යොදවා ඇති බවට වැරදි අවබෝධයක් සමාජයට ලබා දී ඇති බවත් කිසි විටෙකත් හමුදා නිලධාරින් කුණු ඉවත් කිරීමට යොදා නොගන්නා අතර එම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට පමණක් ඔවුන් සම්බන්ධ කර ගන්නා බව ද කොමසාරිස්වරයා කියා සිටියේය.

කොළඹ කුණු ඉවත් කිරීම සඳහා හොඳ ශක්තියක් හා හැකියාවක් කොළඹ මහනගර සභාවට පවතින බව ද ඔහු මෙහිදී අවධාරණය කරනු ලැබීය.

මේ අතර බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඊයේ(19) මාධ්‍යයට පවසන ලද්දේ කොළඹ නගර සීමාව තුළ ගොඩගැසී ඇති කුණු මේ සතිය අවසන් වීමට පෙර ඉවත් කරන බවය.

තමාට කොළඹ කුණු දින තුනක්‌ ඇතුළත ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිදු පාර්ශ්වයක්‌ දැනුම් නොදුන් බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 16 =