ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට බංග්ලාදේශයේ මූල්‍යාධාර 

(කොළඹ, ලංකාපුවත්) –ආපදාවෙන් විපතට පත් ශී‍්‍ර ලාංකීය ජනතාව වෙනුවෙන් සහන සැලසීමට බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියගේ පොරොන්දුව මත ලබාදුන් මුල්‍යාධාර නිල වශයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

රටේ ව්‍යසන තත්ත්වයක් පවතින අතරතුර වුවද අසල්වාසී මිත‍්‍ර රාජ්‍යයන් වෙනුවෙන් බංග්ලාදේශය ලබාදෙන සහයෝගය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා එය ද්විපාර්ශ්වික සබඳතාවල සුවිශේෂී ලක්ෂණයක් බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සබඳතා මෑත කාලයේදී ඉහළ ප‍්‍රගතියක් කරා ගමන්කර තිබෙන අතර එම සබඳතා සෑම ක්ෂේත‍්‍රයකින්ම තවදුරටත් ඉහළ නංවා ගැනීම බංග්ලාදේශයේ අරමුණ බව මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය.

බංග්ලාදේශයේ ආපදා කළමනාකරණ හා පශ්චාත් පුනරුත්ථාපන වැඩසටහන් මගින් ලබා තිබෙන ප‍්‍රගතිය පිළිබඳව මහකොමසාරිස්වරයා මෙහිදී විස්තර කළ අතර ඉන් ශී‍්‍ර ලංකාවට ලබාගත හැකි සහයෝගයන් පිළිබඳ සොයා බලන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

බංග්ලාදේශයේ වගා කෙරෙන නියං කාලවලට ඔරොත්තු දෙන කෘෂි බීජ වර්ග මෙරටට හඳුන්වාදීමේ හැකියාව සොයා බලන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *