රට තුළ ස්ථීර සාර සාමයක් ඇති කිරීම සඳහා රජය පුළුල් වැඩකොටසක් කරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත් හැරීමේ ඉෆ්තාර් උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජාතික සංහිඳියාව වෙනුවෙන් ගෙන ඇති කි‍්‍රයාමාර්ග මෙහිදී ඇගයීමට ලක් විය.

ජාතික සංහිඳියාව වෙනුවෙන් ආශිර්වාද පළ කිරීම ද සිදු කළහ.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ සියලු ජනකොටස් අතර සාමය සහ සමගිය ගොඩනංවමින් රට තුළ ස්ථීර සාර සාමයක් ඇති කිරීම සඳහා රජය පුළුල් වැඩකොටසක් ඉටු කරමින් සිටින බවයි.

රජය සහ මුස්ලිම් ජනතාව බේද කිරීමට එදා මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කළ පිරිසම දේශපාලන කුමන්ත‍්‍රණයක යෙදෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා 2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණයේදී මේ රටේ සුළු ජනකොටස් තමන් වෙනුවෙන් ඡන්දය භාවිතා කළේ ඔවුන්ට මුහුණ දීමට සිදුව තිබූ බරපතළ ගැටලු සඳහා විසඳුම් ලබා ගනිමින් නිදහසේ ජීවත්වීමේ පරිසරය උදා කර ගැනීම වෙනුවෙන් බවත්, එම වගකීම නිසි ලෙසම ඉටු කිරීමට තමා කැපවී සිටින බවත්ය.

එබැවින් දේශපාලන කුමන්ත‍්‍රණවලට හසු නොවී සතුරා සහ මිතුරා හඳුනා ගනිමින් කටයුතු කරන්නැයි තමා සියලු මුස්ලිම් ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ෆයිසර් මුස්තාෆා, රවී කරුණානායක, රිෂාඩ් බදුර්දීන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ විදෙස් තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *