ඩෙංගු කීටයන් කන, මල්පැණි බොන මදුරු විශේෂයක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු කීටයන් ආහාරයට ගන්නා මල්පැණි සහ ශාක යුෂ උරාබොන මිනිසුන්ගේ ලේ උරා නොබොන ‘ටොක්‌සොරින් කයිට්‌ස්’‌ නැමැති මදුරුවා ප්‍රදේශ කිහිපයකට මුදාහැර ඇති බවත් ඉන් ඩෙංගු මර්දන කටයුතු සඳහා වැඩි දායකත්වයක්‌ ලබාගත හැකි බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‌ෂිකා වෛද්‍ය ලක්‌ෂ්මී මාරතිලක මහත්මිය පැවසුවාය.

දැනට මෙම මදුරුවන් මහනුවර කුණ්‌ඩසාලේ, මීරිගම සහ කණ්‌ඩලම ප්‍රදේශවලට මුදාහැර ඇත.

අධ්‍යක්‌ෂවරිය මේ අදහස්‌ පැවසුවේ ඊයේ (22 ) එම ආයතනයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම මදුරු ව්‍යාපෘතිය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂිතවේදී හා කීට විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මිය මාධ්‍ය හමුව අමතමින් පැවසුවේ මෙම මදුරුවාගේ කීටයන් විසින් ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගැනීමට වැඩි රුචිකත්වයක්‌ දක්‌වන බව අනාවරණය වූ බවය.

එහිදී විශේෂඥ වෛද්‍යවරිය මෙසේ ද කීවාය.

ඩෙංගු කීට භක්‌ෂක මෙම මදුරු කීටයාගේ කීට අවස්‌ථාව මාස එකහමාරක්‌ පමණ පවතිනවා. ඩෙංගු කීටයාගේ කීට අවස්‌ථාව පවතින්නේ දින තුනක පමණ කාලයක්‌. ඒ නිසා ඩෙංගු කීට භක්‌ෂකයන්ට තම කීට අවධියේදී ඩෙංගු කීටයන් වැඩි ප්‍රමාණයක්‌ ආහාරයට ගැනීමේ අවස්‌ථාව පවතිනවා. එය මෙම මදුරුවාගේ තිබෙන සුවිශේෂී අවස්‌ථාවක්‌. මෙම කීටයන් මදුරුවන් බවට පත් වූ විට මල්පැණි සහ ශාක යුෂ පමණයි ආහාරයට ගන්නේ. ඔවුන් මිනිසුන්ගේ ලේ උරා බොන්නේ නැහැ.

දැනට මෙම මදුරුවන් බෝවීම සිදුවන්නේ ගහකොළ සහිත ග්‍රාමීය ප්‍රදේශවලයි. ඉදිරියේදී ටයර්, වැහි පීලි වැනි ජලය රැඳෙන සහ ඩෙංගු මදුරු කීටයන් බහුලව ගැවසෙන ස්‌ථානවල බෝ කිරීම සඳහා ඔවුන්ව හැඩ ගැස්‌වීමට පර්යේෂණ කරගෙන යනවා.

හැබැයි මේ මදුරු කීටයන් මගින් පමණක්‌ ඩෙංගු මදුරුවන් මර්දනය කරන්න බැහැ. මෙය ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ එක්‌ කොටසක්‌ පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *