සයිටම් සම්බන්ධ ගැසට් නිවේදනය ගැන ජනාධිපති ලේකම්ගෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය පනවා ඇති කොන්දේසි විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් පී බී අබේකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ මෙම නිවේදනය නිකුත් කර තිබේ.

රජයේ ගැසට් නිවේදනයේ ඇතුළත් කොන්දේසි සම්පූර්ණ කරන තෙක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම හා උපාධි පිරිනැමීම නතර කිරීමට උපදෙස් ලබා දී ඇති බව එම නිවේදනයේ දැක්වේ. වෛද්‍ය අධ්‍යාපනයට අදාළව අවම ප්‍රමිතීන්ගේ වලංගුභාවය නීතිය ඉදිරියේ තහවුරු කළ යුතු බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වහාම ගැසට් කරන බව ද එහි සඳහන් වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට හා අපක්‍ෂපාතීත්වයට කිසිදු ආයතනයක හෝ පුද්ගලයෙකුගේ බලපෑම් සිදු නොවිය යුතුයි. සයිටම් ආයතනයේ දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පාඨමාලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ක්‍රමවේදයකට අනුව සකස් කිරීම හා දැනට උපාධිය සම්පූර්ණ කර ඇති ශිෂ්‍යයන්ගේ උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ හැකි ක්‍රමවේදයක් සකස් කෙරෙන බව ද එහි දැක්වේ.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට ද නියමිතය.

මීට අමතරව සයිටම් ආයතනයේ පරිපාලන ව්‍යුහය වෙනස් කරමින් රජයේ හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු කිරීමට විධිවිධාන සලසන බව ද එහි සඳහන් වේ.

සයිටම් ආයතනයට අයත් රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවති. සයිටම් ආයතනයට අවශ්‍ය අරමුදල් ලබා ගැනීම සඳහා කොටස් වෙළෙඳපොළට ඇතුළත් කිරීම හෝ රාජ්‍ය, පෞද්ගලික අරමුදලකින් සමන්විත භාරයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන බව ද එහි සඳහන් වේ.

මෙම කරුණුවලට ඇතුළත්ව නැති යම් ගැටලුවක් වේ නම් ඒවා විසඳා ගැනීම සඳහා අදාළ පාර්ශ්ව සමග නව ප්‍රවේශයකින් සාකච්ඡා කරනු ඇත. ඒ තුළ සියලු ගැටුම්වලට විසඳුම් ලබා ගැනීම රජයේ අපේක්‍ෂාව බවයි මෙම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. එබැවින් දැනට දේශනවලට සහභාගි නොවන විශ්වවිද්‍යාල සිසුන් සියලු දෙනා ද දේශනවලට සහභාගි වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු තම පෞද්ගලික අනාගතය පිළිබඳ මෙන්ම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රජය දරන අතිවිශාල වැය බර සැළකිල්ලට ගෙන කටයුතු කළ යුතු බව ද එම නිවේදනයේ සඳහන් වේ. සයිටම් ගැටලුව පිළිබඳ උනන්දුවක් දක්වන සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගනිමින් කටයුතු කිරීමට සූදානම් බවත් බුද්ධියට හා හෘද සාක්‍ෂියට සවන් දී සියලුම ශිෂ්‍යයන් දේශනවලට සහභාගි වනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් එම නිවේදනයේ සඳහන්වේ.

වැඩවර්ජනය අවසන් කර සේවයට වාර්තා කළ සියලුම වෛද්‍යවරුන් වෙත ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනයෙන් ස්තූතිය පළකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *