ජයත්මා වික‍්‍රමනායකට ජනපතිගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා විසින් සිය තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස පත්කරගත් ශී‍්‍ර ලංකාවේ ජයත්මා වික‍්‍රමනායක මෙනවිය අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

ශී‍්‍ර ලංකා කීර්තිනාමය ජගත් තලය තුළ පතුරුවමින් ජයත්මා වික‍්‍රමනායක මෙනවිය, මාතෘභූමිය වෙනුවෙන් ලබාදුන් ගෞරවය මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා ඇය වෙත සිය උණුසුම් සුභාශීංසන පිරිනැමූ අතර ශී‍්‍ර ලංකාවේ තරුණ පරපුර වෙනුවෙන් මෙන්ම සමස්ත ලෝකයේ තාරුණ්‍යය වෙනුවෙන් මහත් සේවයක් ඉටු කිරීමට හැකිවේවාය ද සුභාශිංසනය කළේය.

වයස අවුරුදු 21 දී ගෝලීය තරුණ සංවර්ධන වැඩසටහන් නියෝජනය කළ ජයත්මා වික‍්‍රමනායක ලෝක තරුණ නිපුණතා දිනය ප‍්‍රකාශයට පත් කිරීම ඇතුළු එක්සත් ජාතින්ගේ ඉහළ පෙළේ වැඩසටහන් සඳහා දායක වී තිබේ.

ඇය තරුණ සංවර්ධනය උදෙසා ජාතික මට්ටමින් ඉටුකළ ප‍්‍රමුඛ කාර්ය උදෙසා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් මෙම පත්වීම සිදු කර තිබේ.

අළුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සහ කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන 27 හැවිරිදි ජයත්මා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිණියක් වන අතර දැනට එම විශ්වවිද්‍යාලයේම සංවර්ධන අධ්‍යයන කටයුතු පිළිබඳ පශ්චාත් උපාධිය හදාරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + 8 =