අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට විකල්ප ඉඩම්

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට විකල්ප ඉඩම් ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පෞද්ගලික වැවිලි සමාගම් නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවල ලේකම්වරුන් විසින් තම දිස්ති‍්‍රක්කවල ඉඩම් අවශ්‍යතාවයන් හා හඳුනාගෙන ඇති ඉඩම් පිළිබඳ මෙහිදී තොරතුරු ඉදිරිපත් කළහ.

මෙම පදිංචිකිරීම් සඳහා හැකිතරම් රජයේ ඉඩම් භාවිතා කිරීමට කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා රජයේ ඉඩම් ප‍්‍රමාණවත් නොවන අවස්ථාවල පමණක් වැවිලි සමාගම් සතු පෞද්ගලික ඉඩම් ලබා ගැනීමේ හැකියාව සොයා බැලීමට ද උපදෙස් දුන්නේය.

ඉඩම්, ආපදා කළමනාකරණ, වැවිලි සහ නිවාස යන අමාත්‍යාංශවල අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් නිරන්තරයෙන් මේ පිළිබඳ සාකච්ඡා පවත්වමින් අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

මෙම සාකච්ඡාවට එක්වීම පිළිබඳ මෙහිදී පෞද්ගලික වැවිලි සමාගම්වල නියෝජිතයින්ට සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා අරණායක නැවත පදිංචි කිරීම්වලදීද පෞද්ගලික වැවිලි සමාගම් සතු ඉඩම් ලබාදෙමින් දැක්වූ සහයෝගය ඇගයීමට ලක් කළේය.

අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, සජිත් පේ‍්‍රමදාස, නවීන් දිසානායක, ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 3 =