දරුවන් 15කට වඩා සිටින මව්පියන් හා වයස 100ට ඉක්මවූ වැඩිහිටියන් ගැන තොරතුරු සොයයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන ඔක්තෝබර් පළමුවනදාට යෙදෙන ජාතික වැඩිහිටි දිනය නිමිත්තෙන් උපහාර පිදීම සඳහා වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන් හා දරුවන් 15 දෙනෙකුට වඩා වැඩියෙන් සිටින වයස අවුරුදු 75 ඉක්මවූ මව්පියන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය කටයුතු යොදා තිබේ.

මේ අනුව එවැනි වයස 100 ඉක්මවූ ජීවත්ව සිටින වැඩිහිටියන් හා දරුවන් 15 කට වඩා සිටින වයස 75 ඉක්මවූ වැඩිහිටියන් පිළිබඳ සියලු තොරතුරු වහාම මේ මස 31 දාට පෙර ලඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දෙන ලෙස ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුවින්ද සිංගප්පුලි මහතා ඉල්ලා සිටියි.

වැඩිහිටි දින ජාතික සැමරුම් උත්සවය වැඩිහිටියන් 500 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ලබන ඔක්තෝබර් 01 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා සමාජ සවි බල ගැන්වීම්, සුබසාධන හා උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යක්ෂකවරයා පැවසීය.

පසුගිය වසරේ මහනුවර පොල්ගොල්ල ජාතික සමූපකාර අධ්‍යන ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති ජාතික වැඩිහිටි දින සැමරුම් උළෙලේදී වයස අවුරුදු 100 ඉක්මවා සිටි වැඩිහිටියන් 150 දෙනෙකු හා දරුවන් 16 දෙනෙකුට වඩා සිටි මව්පියන් 50 දෙනෙකුට උපහාර පුද කරන ලදි. මෙවර බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වෙන ජාතික උත්සවය සඳහා කොළඹ ගාලු මුවදොර සිට විවෘත රථ පෙළපාලියකින් බත්තරමුල්ල දක්වා වැඩිහිටි පිරිස් කැඳවාගෙන ඒමට සැළසුම් කර ඇති බවත් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ සුවින්ද සිංගප්පුලි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ පිළිබඳ වැඩි විස්තර ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුවින්ද සිංගප්පුලි මහතාගේ 0702-572626 යන දුරකථන අංකයෙන් විමසිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *