නීරෝ නමින් උදා ගමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි දක්ෂතම ස්නයිෆර් වෙඩික්කරුවකු වන නීරෝ හෙවත් රණවිරු රන්ජිත් ප්‍රේමසිරි මහතාගේ නමින් ‘උදාගම්මානයක්’ ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ආණමඩුව ගම්උදාව භූමියේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සහ වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 01වනදා ඒ සඳහා මුල්ගල් තබන ලදි.

රට බේරා ගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ නීරෝගේ මෑණියන් වන රීටා ප්‍රනාන්දු මහත්මියටද එහි නිවසක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රීටා ප්‍රනාන්දු මහත්මිය මතෛක් කලක් අන් අයගේ ආධාර උපකාර මත ජීවත් වීම හා ඇය මුහුණ දුන් ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් එම තීරණයට එළැඹි බව අමාත්‍යවරයා කීය.

නීරෝගේ දක්ෂතා

ඉතා දුර ඉලක්ක ලබා ගැනීම අතරින් ඉදිරියෙන්ම සිටි නීරෝ ඉදිරි ආරක්ෂක වළල්ල දෙසට වේගයෙන් පැමිණෙමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් වූ කළු කොටි සාමාජිකයන් දෙදෙනෙක් සිටි ට්‍රැක්ටරයකට දුර ඈතදීම ස්නයිපර් ප්‍රහාර එල්ල කර එම උත්සාහය ව්‍යර්ථ කර දමනවා.

මෙම සාර්ථක ප්‍රහාරයත් සමඟයි නීරෝ යුධ පිටියෙන් එළියේ ජනතාව අතර ජනප්‍රිය ස්නයිපර් සෙබළෙක් බවට පත් වන්නේ.

කිලිනොච්චි පරන්තන් හා පූනරින් ක්‍රියාන්විත වලදීත් පාබල හමුදාවට අනගි සහයක් ලබා දෙමින් LTTE ත්‍රස්තයන්ගේ ස්නයිපර් වරුන්ව විනාශ කරන්නට නීරෝට හැකි වෙනවා.

වරෙක පුදුකුඩුඉරිප්පුව මුදා ගැනීමේ සටනේදී ගසක් උඩ සිට අවට ප්‍රදේශ නිරීක්ෂණය කරන නීරෝට දිස්වෙන්නේ බැකෝ යන්ත්‍ර දෙකක් මගින් පස් බැම්මක් ඉදිකරමින් සිටින LTTE සාමාජිකයන් පිරිසක්. ඔහු එම අවස්ථාවේ කාලතුවක්කු ආධාරද ඇතිව බැකෝ යන්ත්‍ර දෙකත් ඒවා මෙහෙය වූ ත්‍රස්තයන් කණ්ඩායමත් සම්පුර්ණයෙන් විනාශ කර දමන්නට සමත් වෙනවා.

අවාසනාවකට 2009 වසරේ LTTE සංවිධානයේ මෝටාර් ප්‍රහාරයටකට ලක් වෙන නීරෝ ඉන් තුවාල ලබනවා.

පුදුමාතලන් සටන

මෝටාර් ප්‍රහාරයේ තුවාල හරි හැටි සුව වී නොතිබුනත් ඔහු නැවතත් යුධ පිටියට යන්නේ එම වසරේ අප්‍රේල් මාසයේ 21 වනදායි. සේනාවිධායක් කර්නල් වනසිංහ නීරෝට තවදුරටත් විවේක ගන්නා ලෙස පැවසුවත් “අන්තිම සටනේ කොඩිය දානකොට මමත් එහේ ඉන්න ඕනෑ “ යැයි නීරෝ පැවසු බව සදහන්.

පුදුමාතලන්හි පළමු පස් බැම්ම අසළ සැඟවී යුද්ධයේ අවසන් මොහොතේ සාමාන්‍ය ජනතාව සේ යුධ හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙන ත්‍රස්තයන් දුර සිට හදුනාගෙන විනාශ කිරීමේ රාජකාරිය භාරව තිබුනේ නීරෝටයි. තම වගකීම නියමාකාරයෙන් ඉටු කරමින් සිටි නීරෝ අප්‍රේල් 28 වනදා උදෑසන 6:30ට පමණ LTTE ස්නයිපර් සාමාජිකයකුගේ දුර දක්නයකට අසු වෙනවා. ඉන් මොහොතකට පසු ත්‍රස්තයාගේ ස්නයිපර් උණ්ඩයකට හසුවන නීරෝ පුදුමාතලන් පස් බැම්ම බදාගෙන සදහටම නිහඩ වෙනවා.

රට වෙනුවෙන් නිහඩ අභීත මෙහෙවරක් ඉටු කළ නීරෝ හෙවත් ක්‍රෝපල් රංජිත් සඳහා වීරවික්‍රම විභූෂණ, රණවික්‍රම හා රණශුර පදක්කම් සඳහා නිර්දේශ වෙනවා. තවද පූර්ණ භූමි, උතුරැ නැගෙනහිර සංග්‍රාමික, රිවිරැස, දේශ පුත්‍ර සම්මානයෙන්ද පිදුම් ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *