ඩෙංගු රෝගයට කඩිනම් පියවර ගැනීමට නිසි බලධරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගයට කඩිනම් පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නිසි බලධරයෙක් පත් කර තිබේ. ඩෙංගු රෝගය වැළැක්වීම සදහා පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසීය.

ඩෙංගු උවදුර වැළැක්වීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

ඒ අනුව ඩෙංගු උවදුර පාලනය කරන තුරු එය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කළමනාකරණය කිරීම සහ අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරින්ගේ සහභාගීත්වයෙන් දෛනිකව රැස්වීම් පවත්වා අවශ්‍ය පියවර ගැනීම ඔහුට පැවැරී ඇති වගකීම වේ.

මෙම සාකච්ඡාවේ දී ඩෙංගු රොගීන් සහ ඩෙංගු මරණ පිළිබඳව දත්ත සැකසීම පිළිබඳව අවධානය යොමු විය. දත්ත සැකසීම උදෙසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 10 ක් ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයට අනුයුක්ත කරන අතර ඔවුන් දෛනිකව එම වාර්තා සකස් කළ යුතු වේ. මේ වනවිට ඩෙංගු රෝගීන් 71,000 ඉක්මවා ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 226 කි.

රාගම ශික්ෂණ රෝහලේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඉදිකරන ඩෙංගු අධිසත්කාර ඒකකය තව තෙදිනක් තුළ ආරම්භ කිරීමට මෙහිදී තීරණය විය. ඒ සඳහා හෙද හෙදියන් 30 ක් සහ වෛද්‍යවරුන් ලබාදීමට ද ඩෙංගු රෝගීන් සඳහා අවශ්‍ය විපරම් කිරීමේ යන්ත්‍ර 10 ක් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.

ඩෙංගු රෝගීන් සදහා ලබාදෙන ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධය අවශ්‍ය තරම් තොඟ පවත්වාගෙන යාම පිළිබදව ද මෙහිදී සකචිඡා කෙරුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *