නව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු

(කොළඹ, ලංකාපුවත්) – නව ජනාධිපති ලේකම්වරයා ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (04) වැඩ බාර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

හිටපු ජනපති ලේකම් පි.බී. අබේකෝන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග ජනපති ලේකම් තනතුර හිස් වූ අතර ඒ සඳහා ජනාධිපතිවරයා විසින් ඔස්ටින් ප්‍රනාන්දු නම් කරනු ලැබීය.

ඔස්ටින් ප්‍රනාන්දු මහතා නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර කටයුතු කළේය.

ඒ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ගත් ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා ගත්තේය.

උපාධිය ලබා ගැනීමෙන් පසු ටික කලක් නාගොඩ රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කර ඇති ඔස්ටින් ප්‍රනාන්දු මහතා පසුව රාජ්‍ය පරිපාලන සේවයට එක්ව පොළොන්නරුව සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි දිසාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද කලක් ඔස්ටින් ප්‍රනාන්දු මහතා යටතේ සේවය කර තිබේ. ඔහු කලක් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා ලෙසත් තැපැල්පතිවරයා ලෙසත් කටයුතු කර ඇති පලපුරුදු රාජ්‍ය නිලධාරිවරයෙකි.

ඔහු 2002 එක්සත් ජාතික පක්ෂ රජයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වීමට පෙර එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව ජනාධිපති ලේකම්වරයා සිය ධූරයේ රාජකාරී ඇරඹූ අතර, ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ පවුලේ සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *