2017වසරේ දී විදෙස් එජන්සි ආයතන 67 අසාදු ලේඛනයට

(කොළඹ, ලංකාපුවත්) – 2017 වසරේ ජනවාරි 01 දින සිට 2017 වසරේ ජූලි මාසයේ 03 වන දින දක්වා විදේශ රැකියා නියෝජිතායතන 67ක් අසාදු ලේඛන ගතකිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

2016 වසරේ අසාදු ලේඛන ගත කරන ලද විදේශ රැකියා නියෝජිතායතන ප‍්‍රමාණය 61 කි.

මෙසේ ඒජන්සි ආයතන අසාදු ලේඛන ගතකිරීමට හේතු ලෙස කාර්යාංශයේ සමථ අංශයෙන් ඉදිරිපත් වන පැමිණිලි විසඳීම සඳහා ප‍්‍රමාණවත් සහයක් නොදැක්වීම, කාර්යාංශයේ ලියාපදිංචි නොකර අයතා ක‍්‍රම මඟින් පුද්ගලයින් විදේශ ගත කිරීම, ව්‍යාජ ලේඛන කාර්යාංශයට ඉදිරිපත් කිරීම, විදේශ ගත කිරීමට නියමිත පුද්ගලයින්ට මූල්‍ය වංචා කිරීම හා පිටරට රැකියා නියෝජිතායතන වෙතින් කොමිස් මුදල් ලබාගෙන ශ‍්‍රමිකයින් එරටට ලබා නොදීම වැනි කරුණු හේතු වී ඇත.

කාර්යාංශය එවන් අවස්ථාවන්වලදී එම ආයතනයන් සඳහා අදාළ පැමිණිල්ල විසඳන තෙක් තාවකාලිකව අසාදු ලේඛන ගත කිරීම, අදාළ වංචනික නියෝජිතායතන මඟින් ඔවුන්ගේ මුදල් නැවත ලබාගැනීමට කටයුතු කිරීම, රැකියා ඇණවුම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කිරීම හා නීති අංශය මඟින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම වැනි පියවර අනුගමනය කරනු ලැබේ.

මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන ගණන 702 කි. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන 355 ක පවතී. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එය 130 කි. නුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන 44 ක් වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන25 ක් වේ.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, මේ වන විට ඇතැම් ආයතන කුඩා දරුවන් සිටින මව්වරුන් පවා කූට ලේඛන උපයෝගි කරගනිමින් විදේශ ගතකිරිමට උත්සහ ගන්නා බවත් ඔවුන්ගේ වංචනික ක්‍රියා සඳහා දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බවත්, රැකියා නියෝජිතායතන විදෙස් ගතවන ශ‍්‍රමිකයින් පිළිබඳ ව සිය වගකීම පැහැර හරින්නේ නම්, ඒ පිළිබඳව ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

එසේම අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ මෙසේ නීත්‍යාණුකූල නොවන පරිදි කටයුතු කරන ඇතැම් නියෝජිත ආයතන හේතුවෙන් නීත්‍යානුකූලව කටයුතු කරන රැකියා නියෝජිත ආයතනවලටද බාධාවක් වන බවත්, විදේශ රැකියා ක්ෂේත‍්‍රයට ගෞරවනීය තත්ත්වයක් ලබා දීමට තමන් උත්සාහ ගන්නා අතරම විදේශ ගත ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *