සෞදි රාජ්‍යයේ සංචාරයකට ජනපතිට ආරාධනා

(කොළඹ, ලංකාපුවත්) – සෞදි රජ පවුලට අයත් අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ඊයේ (04) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.

ශී‍්‍ර ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ මෙහිදී සිය ප‍්‍රසාදය පළකළ අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ශී‍්‍ර ලංකාවේ වෙළෙඳ සහ සංචාරක ක්ෂේත‍්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන බව ද කියා සිටියේය.

ජාත්‍යන්තර වශයෙන් ඉහළ ආයෝජන සිදුකරන සෞදි ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් ඉදිරියේදී ශී‍්‍ර ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමුකිරීමට අපේක්ෂා කරන බව පැවසූ සෞදි කුමරු එම ආයෝජන අවස්ථා පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම සඳහා ව්‍යාපාරිකයින් පිරිසක් සමග එරටට පැමිණෙන ලෙස ද ජනාධිපතිතුමා වෙත ආරාධනා කළේය.

ශී‍්‍ර ලංකාවේ සෞම්‍ය දේශගුණය, හරිත පරිසරය මෙන්ම සුන්දර වෙරළ තීරය ද, ඓතිහාසික නටඹුන් ද සංචාරක ආකර්ශණය දිනාගෙන තිබෙන අතර ශී‍්‍ර ලංකාව සංචාරක ක්ෂේත‍්‍රය සඳහා බොහෝ ඉඩ කඩ තිබෙන රටක් බව ඔහු සඳහන් කළේය.

සෞදි අරාබිය අතීතයේ පටන් ශී‍්‍ර ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා පසුගියදා ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම වෙනුවෙන් ලබාදුන් සහය ද ඇගයීමට ලක් කළේය.

එමෙන්ම ශී‍්‍ර ලාංකිකයින් හාරලක්ෂයක් පමණ මේ වන විට සෞදි අරාබියේ සේවය කරන අතර ඔවුන් මෙරට ආර්ථිකයට ලබාදෙන සුවිශාල දායකත්වය ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *