ලබන තෙවසර තුළදී අපනයනයට මුල්තැන දෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ලබන තෙවසර තුළ අපනයන ආදායමට මූලිකත්වය දෙන, ශීඝ්‍රයෙන් දියුණුවන ආර්ථිකයකයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඇල්විටිගල මාවතේ දී ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ නව ගොඩනැගිල්ල ඊයේ(05) විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“රැකියා බිහිකිරීමට, ආදායම වැඩි කිරීමට එමෙන්ම සාමාන්‍ය ජනතාවට දැනෙන සංවර්ධනයක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි. වසර 40 කට පෙර එනම් 1977 වසරේ නොවැම්බරයේ අප මෙරටට විවෘත ආර්ථිකයක් හඳුන්වා දුන්නා. එම නිසා නිෂ්පාදන භාණ්ඩ අපනයන වෙළෙඳ කටයුතු වැඩි වුණා. චීනය, ඉන්දියාව, වියට්නාමය විවෘත ආර්ථිකයට පිවිසුණේ අපෙන් පසුවයි. යුද්ධය නිසා අපේ සංවර්ධන වේගය අඩු වුණා. සෙසු රටවල සංවර්ධන වේගය අඩු වුණේ නැහැ. අපිට සමාන මට්ටමේ සිටි මැලේසියාව, ඉන්දුනීසියාව ආදී රටවල් ද අපට පිටුපසින් සිටි චීනයත්, පසු ඉන්දියාවත්, වියට්නාමයත් දැන් අප පසු කරගෙන ඉදිරියට ගොස් තිබෙනවා. දැන් අපට පිටුපසින් සිටින්නේ මියන්මාරය, කාම්බෝජය, ලාඕසය, ඇප්ගනිස්ථානය පමණයි”.

“පසුගිය දශකයේ දී ආර්ථිකය වෙළෙඳ නොවන කටයුතු සඳහා වැඩි වශයෙන් අවධානය යොමු වුණා. රටේ වර්ධනය ඇති වුණේ වෙළෙඳ නොවන අංශවලිනුයි. ආර්ථිකයේ අපනයන නිෂ්පාදනයටත් ඊට සම්බන්ධ ආයෝජනකරුවන්ටත් අහිත කරවූ ප්‍රතිපත්ති එම යුගයේදී ක්‍රියාත්මක වුණා. එකළ ජීඑස්පී ප්ලස් ඇඟළුම් තීරු බදු සහනයෙන් ලැබෙන්නට තිබූ වාසිය ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කළා. බංගලාදේශය එහි වාසිය ලබාගත්තා”.

“අපනයන අඩුවීමත් සමග සංවර්ධනය සඳහා එවකට රජය යටිතල පහසුකම් ඉදිකිරීම ආරම්භ කළා. යටිතල පහසුකම් ඉදිකිරීමට තම ආදායම් නොතිබූ නිසා ණය ලබාගත්තා. ලංකාවේ වෙළෙඳපොළින් පමණක් නොව පළමුවරට විශාල වශයෙන් විදේශ වෙළෙඳපොළෙන් මුදල් ලබාගත්තා. එකළ යුරෝපයේ තිබූ ආර්ථික අර්බුදය නිසා විදේශ මුදල් ලංකාවේ රැඳුණේ කෙටි කාලයක් පමණයි. එම මුදල් ආපසු යන්නට පටන් ගත්තා. ඒ අනුව සම්පූර්ණයෙන්ම යටිතල පහසුකම් ඉදිකරන්නට පටන් ගත්තා”.

“රට ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් සහයෝගය අප අගය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගන්නේ ඇයි දැයි බොහෝ අය ඇසුවා. අපට අවශ්‍ය තරමින් ආධාර ලබාගත යුතුයි. අපට අවශ්‍ය ආධාර ඔවුන්ගෙන් ලැබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර අවශ්‍ය මුදල් ලබාගැනීමට අපේ රජයට හැකියාව ලැබුණා”.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියා කළේ අපේ දේශීය ආදායම වැඩිකිරීමටයි. එසේ කිරීමේදී වැට් බදු වැඩිකිරීමට සිදුවුණා, එවිට බැණුම් අසන්නටත් සිදුවුණා. මේ වන විට ලබාගත් ණයෙහි පොලිය අපේ ආදායමෙන් ගෙවා දැමීමට හැකියාව ලැබී තිබෙනවා. එයත් විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි. එම ස්ථාවර බව අප ඇති කර තිබෙනවා. මෙතැන් සිට ඉදිරිපියවර කිහිපයක් අප විසින් ගත යුතුයි. ඒ ආර්ථිකයේ ස්ථාවර බව තහවුරු කිරීම සඳහායි. නමුත් අපට සම්පූර්ණ ණය ගෙවා දැමීමට ශක්තියක් නැහැ. අප විදේශ ආයෝජන ලබාගැනීමට ක්‍රියා කරන්නේ ඇයි? තව අවුරුදු පහ, හයකින් අපගේ දළ දේශීය නිෂ්පාදිතය ශීඝ්‍රයෙන් වර්ධනය වූ පසුව එම ආදායමත් ණය ගෙවාදැමීම සඳහා යෙදවීමට හැකියාව තිබෙනවා. ඒ වනතුරු අපට ණය ගැනීමට සිදු වනවා. මෙවර ණය ගන්නේ ණයගෙවීමට මාර්ගයක් නැතිව නොවේ. පැහැදිලි දැක්මක් ඇතිවයි. වසර පහක්, දහයක් යන විට ණයගෙවීමට අපට මුදල් තිබෙනවා”.

“දළ දේශීය නිෂ්පාදනය දෙස බලන විට ජාතික ණය ප්‍රතිශතය 79% සිට 70 දක්වා අඩු කර ගන්නට අපට හැකිවුණා. එය 60% දක්වා අඩු කිරීමට අප ක්‍රියා කළ යුතුයි. මේ වන විට මහ බැංකුවෙන් කෙටි හා මධ්‍ය කාලීන ණය පාලනය කිරීමේ උපක්‍රමයක් ඉදිරිපත් කර තිබෙනවා. එය සංශෝධනය කිරීමෙන් පසුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි”.

“අප රටේ සියලු ම නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ තරඟකාරීත්වයකින් සමන්විත විය යුතුයි. ශ්‍රී ලංකාවේ ඇතැම් ව්‍යාපාර සඳහා රට තුල තරඟකාරීත්වයක් නොමැතිවීම හේතුවෙන් බංගලාදේශයට සහ මියන්මාරයට රැගෙන යනවා. එය අපට නැවැත්විය නොහැකියි. අප බෙංගලා බොක්කේ රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළයුතුයි”.

මේ වන විට ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය ලැබී තිබෙන අතරම ජීඑස්පී ප්ලස් සහනයෙන් ලැබුණු නිෂ්පාදන හය දහසින් කොතරම් ප්‍රමාණයක් අපනයනය කිරීමට හැකිවේද යන්න එහි ඇති අභියෝගය යැයි ද පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා ඇඟළුම්, රබර්, ධීවර, කර්මාන්ත සඳහා පමණක් සීමා වෙනවාද එසේත් නොමැති නම් තවත් වසරක් දෙකක් ගතවන විට විදෙශ් ආයෝජකයන්ගේ ද සහාය ඇතිව අපනයන ප්‍රමාණය පුළුල් කරනවාද යන්න තීරණය කළ යුතු යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + 15 =