ජල කාන්දුව නතර කරන තුරු උමා ඔය කැනීම් තාවකාලිකව නතර කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජල කාන්දුව නතර කරන තුරු උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ උමග ආශ්‍රිත කැනීම් තාවකාලිකව නතර කර තිබේ.

උමං මාර්ගයේ ඇති විදුම් යන්ත්‍රය ද ඉදිරි දින දහය ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කරන බවයි, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත. ව්‍යාපෘතිය ආශ්‍රිතව මතුවී තිබෙන ගැටලු විසඳීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අදාළ පර්ශ්වකරුවන් කැඳවා සාකච්ජා කිරීමෙන් පසු කඩිනම් පියවර රැසක් ගෙන ඇති බව එම නිවේදනයේ දැක්වේ.

ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අනූව ස්විට්සර්ලන්ත විශේෂඥ උපදේශකවරයෙකුගේ නිර්දේශයට අනුකූලව අදාළ ගවේෂණ සදහා තාක්ෂණික උපකරණ ලබන 18 වනදාට පෙර මෙරටට රැගෙන ඒමට නියමිතය.

එමෙන්ම මේ මස 31 වැනි දින මෙරටට පැමිණෙන නෝර්වේ, විශේෂඥයින් විසින් කරනු ලබන නිරීක්ෂණ, පරීක්ෂණ ආශ්‍රිතව කරනු ලබන නව නිර්දේශ, නිගමන අගෝස්තු 15 වනදා ලබාදීමට ද පියවර ගනු ඇත.

ජාත්‍යන්තර විශේෂඥ උපදෙස්, නිර්දේශ මෙන්ම මෙරට විද්වතුන්ගේ උපදෙස් ද පදනම් කර සමස්ත ව්‍යාපෘතියේ ඉදිරි ක්‍රියාමාර්ග තිරණය කෙරෙන බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සදහන් කරනු ලැබේ.

මේ අතර උමාඔය යෝජනා ක්‍රමයෙන් ගැටලුවලට මුහුණපෑ ජනතාවගේ දේපළ තක්සේරු කර වන්දි පිරිනැමීම සහ සෙසු සහන සදහා රුපියල් කෝටි 30ක ප්‍රතිපාදන බදුල්ල දිස්ත්‍රික් ලේකම් වෙත නිදහස් කිරීම ඇතුළු පියවර රැසක් ගෙන ඇතැයි අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *