ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ජපානයෙන් රු. බිලියන 60 ක්

(කොළඹ, ලංකාපුවත්) – ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ වාරිමාර්ග හා ග්‍රාමීය හා නාගරික ජලසම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම වැනි මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා ජපන් යෙන් මිලියන 44,767 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 60,407)ක ණය මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (ජයිකා) වෙතින් ලබාදීමට ජපන් රජය එකඟතාවය පළකර ඇත.
පිබිදෙන කලාපයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති හා කළුගඟ ජල සම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය (I) මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජපාන රජය සමඟ පවත්වන ලද ද්වීපාර්ශවික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, ඉහත ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය හා ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම උදෙසා ජපන් යෙන් මිලියන 44,767 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 60,407)ක ණය මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (ජයිකා) වෙතින් ලබාදීමට ජපන් රජය විසින් එකඟතාවය පළකර ඇත.

පිබිදෙන කලාපයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

වර්ෂ 2015 නොවැම්බර් මස, අග්‍රාමාත්‍යතුමන් විසින් පවත්වන ලද ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, පෙන්වා දී ඇති පරිදී රජය මේ වන විට ගැටුම් පැවති ප්‍රදේශ නැවත ගොඩනැංවීම, මූලික යටිතල පහසුකම් සංවර්ධනය හරහා ග්‍රාමීය ආර්ථිකය නංවාලීම වැනි ක්‍රියාවලීන්හි නිරතව සිටී. පිබිදෙන කලාපයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියද, ශ්‍රී ලංකාවේ පිබිදෙන කළාපවල මූලික යටිතල පහසුකම් සංවර්ධනයටද දායක වෙමින් ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම අරමුණු කරගනිමින් රජයේ ඉහත සංවර්ධන ප්‍රතිපත්තිය හා සමගාමීව ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ අනුව, මෙරට ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමට මෙන්ම ප්‍රාදේශීය විෂමතාවයන් අවම කිරීමටද ආයක වෙමින් උතුරු, නැගෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වල මූලික යටිතල පහසුකම් වන ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ වාරිමාර්ග හා ග්‍රාමීය ජලසම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් ජනතාවගේ ජීවන මාර්ගයන් මෙන්ම ජීවන තත්ත්වයද ඉහල නැංවීම අරමුණු කර ගනිමින්, පිබිදෙන කලාපයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම උදෙසා ජපන් යෙන් මිලියන 12,957 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 17,431)ක ණය මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (ජයිකා) වෙතින් ලබාදීමට ජපන් රජය විසින් එකඟතාවය පළකර ඇත.

කළුගඟ ජල සම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය (I)

ශ්‍රී ලංකාවේ වාණිජ ක්‍රියාකාරකම්හි කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාත සාපේක්ෂව ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් යටිතල පහසුකම් වලින් සමන්විත වේ. කෙසේවුවද, කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා නල ජල පහසුකම් සැපයීම 37.1% ලෙස බස්නාහිර පළාත තුල අවම අගය වාර්තා වී ඇත. තවද සීග්‍ර නාගරීකරණය සමඟ 2015 සිට 2025 වර්ෂය වන විට, දැනට පවත්නා කළුඟග ජලසම්පාදන පද්ධතිය මඟින් යැපෙනු ලබන ජනගහනය 45.8% කින් ඉහල යා හැකි බවට පුරෝකථනය කර ඇති බැවින්, එසේ ඉහල යනු ලබන අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා, කළුඟග ජලසම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම මෙන්ම ආදායම් නොඋපදවන ජල ප්‍රමාණය අවම කිරීමද කල යුතු වේ.

මේ අනුව, කළුඟග ජල සම්පාදන පහසුකම් පුළුල් කිරීම හා ජලය බෙදාහැරීමේ පද්ධතිය නවීකරණය කිරීම මඟින් බස්නාහිර පළාතේ දකුණු ප්‍රදේශයන්ට පිරිසිදු පානීය ජලය ලබාදීම මෙන්ම ජලසම්පාදන කාර්යක්ෂමතාව ඉහල නැංවීම හරහා එම ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවන්ගේ සෞඛ්‍ය තත්වය හා ජීවන තත්වය ඉහල නැංවීම අරමුණු කර ගනිමින්, කළුගඟ ජල සම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය (I) ක්‍රියාත්මක කිරීම උදෙසා ජපන් යෙන් මිලියන 31,810ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 42,976)ක ණය මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (ජයිකා) වෙතින් ලබාදීමට ජපන් රජය විසින් එකඟතාවය පළකර ඇත.

එමෙන්ම කළුඟග ජල සම්පාදන පද්ධතිය පුළුල් කිරීම සහ දෙහිවල හා මොරටුව ප්‍රදේශයන්හි (මීටර් සවිකරන ලද) ජලය බෙදා හැරීමේ පද්ධතිය නැවත වැඩිදියුණූ කිරීම මඟින් ආදායම් නොඋපදවන ජල ප්‍රමාණය අඩු කර ගැනීමද මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරේ.

2017 අප්‍රේල් මස, අග්‍රාමාත්‍යතුමාගේ ජපාන සංචාරයේදී ඉහත ව්‍යාපෘතීන් හා සම්බන්ධ හුවමාරු පත්‍ර ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර අත්සන් තබන ලදී. ඉහත ණය මුදල් සඳහා අදාල ණය ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්, ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතා සහ ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත ෆුසාටෝ ටනාකා මහතා විසින් ඉහත ණය ගිවිසුම් අත්සන් තබන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *