ඒකීයභාවය හා බෞද්ධාගම ගැන පැවරී ඇති වගකීම පැහැර හරින්නේ නැතැයි ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – රටේ ඒකීයභාවය හා බෞද්ධාගම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පැවරී තිබෙන වගකීම් කිසිලෙසකින්වත් පැහැර නොහරින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ නැගෙනහිර පළාත හා තමන්කඩුව එගොඩපත්තුව යන දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය මකුරුප්පේ පඤ්ඤාසේකර නායක ස්වාමින් වහන්සේ වෙත ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ (10) පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ශාලිකා ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ තවමත් දළ කෙටුම්පතක් හෝ සකසා නොමැති අතර, එවැන්නක් සකස් කරන්නේනම් එය පාර්ලිමේන්තුවට සහ රටට ඉදිරිපත් කර සියලු යෝජනා මෙන්ම චෝදනා ද සැලකිල්ලට ගනිමින් අදාළ සංශෝධන සහිතව එම දළ කෙටුම්පත සැකසීමට බලාපොරාත්තුවන බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

රටේ ඒකීයභාවය පිළිබඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන කරුණුවල කිසිදු වෙනසක් සිදු නොකරන අතරම 1972 ව්‍යවස්ථාවේ බෞද්ධාගම සම්බන්ධයෙන් තිබෙන ඡේදයෙහි ද කිසිදු වෙනසක් සිදු නොකරන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ රටේ ජනතාවගේ පැත්තෙන් ඇති උනන්දුව පවතින මැතිවරණ ක‍්‍රමය වෙනස් කර කොට්ඨාස ඡන්ද ක‍්‍රමයක් පිළිබඳ තිබෙන ඉල්ලීම බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ජාතික සංහිඳියාව ගොඩනැගීමේ දී සහ බලය බෙදීමේ දී, කිසිවිටෙකත් රට බෙදෙන්නේ නැති, ඒකීය රටක බලය බෙදීමේ දේශපාලන විද්‍යාත්මක ක‍්‍රමවේදයකට යොමු විය යුතු බවද ප‍්‍රකාශ කළේය.

අභිනව ප‍්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත ශී‍්‍ර සන්නස් පත‍්‍රය පිළිගැන්වීම අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමින් වහන්සේ අතින් සිදුවූ අතර ජනාධිපතිතුමා විසින් අභිනව සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත විජිනිපත පිළිගැන්විය.

අස්ගිරි මහාවිහාරයීය කාරක සංඝ සභාවේ මහාලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍යපාද මැදගම ධම්මානන්ද, මහියංගණ රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත, රංගිරි දඹුළු රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල යන නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දයා ගමගේ, නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර දෙහිඅත්තකණ්ඩිය මහවැලි හෙළ බොජුන් හල ද අද පස්වරුවේ ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

දිඹුලාගල නව කලාප අධ්‍යාපන කාර්යාලය සහ දිඹුලාගල කලාපීය තොරතුරු සංනිවේදන තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානය අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

නව කලාප අධ්‍යාපන කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව උතුරු මැද පළාතේ ගුරුභවතුන්ට නිල හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහන සංකේතවත් කරමින් ගුරුවරුන් කිහිප දෙනෙකු වෙත නිල හැඳුනුම්පත් ලබාදීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මෙම යුගයේදී තරම් වෙනත් කිසියම් යුගයක අධ්‍යාපන ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය සම්පත් මෙවන් ආකාරයෙන් ලබාදී නොමැති බවයි.

ඇතැමුන් මහා සංවර්ධනයක් ගැන කථා කළ ද පාසල්වල ඩෙස්පුටු සහ දරුවන්ට බීමට වතුර නොමැතිනම් එම සංවර්ධයෙන් පළක් නොමැති බවත් මහා සංවර්ධනයකට පෙර රටේ මූලික අඩු පාඩු සපුරාලිය යුතුය යන්න වත්මන් රජයේ සංවර්ධන ප‍්‍රතිපත්තිය බවත් ජනාධිපතිතුමා පැවසීය.

මැදගම ද්විතියික පාසලේ නව තාක්ෂණ පීඨය ද ඊයේ ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

නව තාක්ෂණ පීඨය සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර පාසල සඳහා පංති කාමර 08 ක නව ගොඩනැගිල්ලක් ඉදිකරදෙන බවට ද දරුවන්ට පොරොන්දු විය.

සිසු දරුවන්ගේ නිර්මාණ රැසක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර විද්‍යාලයේ 13 වසරේ ධනුෂ්ක අඹන්ගල්ල සිසුවා විසින් නිර්මාණය කරන ලද අත්ට‍්‍රැක්ටරයක් ද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

විදුහල්පති ආර්.එම්. ශාන්ත මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *