තුනී පොලිතින් භාවිතය තහනම් කිරීමට කැබිනට් අවසරය

(කොළඹ, ලංකාපුවත්) – තුනී පොලිතින් භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයා හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සඳහා අනුමැතිය හිමි වී තිබේ.

එමෙන්ම මෙහිදී ගත හැකි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් විස්තර කැබිනට් පත්‍රිකාවේ අන්තර්ගතවිය.

ජාතික ,ආගමික,සමාජීය ,සංස්කෘතික හා දේශපාලන උත්සව ඇතුළු සියලු උත්සව සැරැසිලි කටයුතු වලදී පොලිතින් භාවිතය තහනම් කිරීම.

මයික්‍රෝන 20ට සමාන හෝ ඊට අඩු ඝනකමකින් යුතු හෝ ඊට අඩු ඝනකමකින් යුත් පොලිතින් භාවිතය,විකිණීම හා නිෂ්පාදනය තහනම් කරමින් දැනට නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසිය එලෙසම ක්‍රියාත්මක කිරීම.

අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා මයික්‍රෝන 20ට අඩු පොලිතින් භාවිතය මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය මත පමණක් සිදු කිරීමට අවසර දීම.

ආහාර එතීම සඳහා භාවිත කරන දවටන දේශීය භාවිතය සඳහා ආනයනය ,නිෂ්පාදනය හා විකිණීම තහනම් කිරීම.

පොලිස්ටයිරින් අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා ආහාර ඇසුරුම් පෙට්ටි ,ප්ලාස්ටික් පිඟන් කෝප්ප ආදිය හා හැඳි ආනයනය නිෂ්පාදනය,විකිණීම තහනම් කිරීම.

පොලිතින්වලින් සාදන ලද කවරවල බහා සකසන ලද හෝ පිසූ ආහාර විකිණීම තහනම් කිරීම.

භාණ්ඩ මිලදී ගන්නා අවස්ථාවලදී පාරිභෝගිකයින් වෙත ලබා දෙන ලද පොලිතින් ඇසුරුම් වලට විකල්ප ලෙස කඩදාසි,පන් රෙදි වැනි පරිසර හිතකාමී ඇසුරුම් මලු ලබා දීම හා එවැනි ඇසුරුම් නිෂ්පාදනයේදී ජෛව හායනයට ලක්වීම මඟින් දිරාපත්වන ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීම.

විවෘත භූමි වල පොලිතින් ප්ලාස්ටික් පිළිස්සීම තහනම් කිරීම.

ජෛව හායනයට ලක්වන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය හඳුන්වාදීම හා ප්‍රචලිත කිරීම.

ජෛව හායනයට ලක්වන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය භාවිතා කර නිෂ්පාදන කටයුතු කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ආනයනය කිරීමේ දී බදු සහන හා බදු සහන ලබා දීම හා ප්ලාස්ටික් අමුද්‍රව්‍ය හා ප්ලාස්ටික් භාණ්ඩ ආනයනයේදී 15%ක සෙස් බද්දක් අය කිරීම.

ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීම යන ක්‍රියාමාර්ග ඒ අතර අන්තර්ගතවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *