රථවාහන වැරදි සඳහා දඩ මුදල් වැඩිකිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) – මාර්ග නිති උල්ලංඝනයේදී අයකරන දඩ මුදල් වැඩිකිරීමේ සාධාරණත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් සැපයීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පත්කළ කමිටුවේ අවසන් වාර්තාව ඊයේ(11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා විසින් එම වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබිණි.

2017 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් මාර්ග නීති උල්ලංඝනය අවම කිරිම හා එමගින් මාර්ග අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් මාර්ග නීති උල්ලංඝනය සඳහා වන අවම දඩ මුදල රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබිණි.

එයට විවිධ පාර්ශ්ව විසින් දැක්වූ විරෝධතා හේතුවෙන් ගරු ජනාධිපතිතුමා විසින් මේ පිළිබඳව පරීක්ෂා කර වාර්තාවක් සැපයීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සෝභිත රාජකරුණා, මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) නන්දන මුණසිංහ යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවක් පත්කෙරිණි.

ඒ අනුව එම කමිටුව විසින් සකස්කරන ලද අවසන් වාර්තාව මෙලෙස ඊයේ ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

මේ අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *