ජනපති බංග්ලාදේශ රාජ්‍ය සංචාරයට දිවයිනෙන් පිටව යයි

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (13) බංග්ලාදේශය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

මෙම සංචාරයේදී ජනාධිපතිතුමා බංග්ලාදේශ අගමැතිණිය සහ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, කථානායකවරයා මෙන්ම විපක්ෂ නායිකාව ද ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා පවත්වනු ඇත.

ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා ඇරඹෙන්නේ 1972 වසරේදී ය.

ශී‍්‍ර ලංකාවේ බංග්ලාදේශ ආයෝජන ඉහළ නැංවීම පිළිබඳව ද, නාවික, අධ්‍යාපන, සංචාරක, ධීවර, සෞඛ්‍ය ආදී ක්ෂේත‍්‍රවල සබඳතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර දෙරට අතර කෘෂිකර්ම, අධ්‍යාපන, විදේශ කටයුතු පුහුණුවීම්, ආගමන සහ විගමන ආදී ක්ෂේත‍්‍ර ආවරණ වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතය.

ශී‍්‍ර ලංකාව හා බංග්ලාදේශය අතර වසරකට ඩො.මි. 142 පමණ වෙළෙඳ පිරිවැටුමක් ඇති අතර, මෙම වෙළෙඳ කටයුතු තවදුරටත් වැඩිදියුණුකර ගැනීමට ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේදී විශේෂ අවධානයක් යොමු කෙරෙණු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *