නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට සහය වන්නැයි ජනපති දකුණු ආසියානු රටවලින් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය උවදුර සමස්ත දකුණු ආසියානු කලාපයට එල්ල කර ඇති අභියෝගය ජයගැනීම සඳහා දකුණු ආසියානු රටවල් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

කොළඹ පැවති සාක් රටවල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගීවීමට පැමිණි සාක් රටවල අමාත්‍යවරුන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේ දී මේ අදහස් පළ කළේය.

පසුගිය දා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට එල්ල වූ ප‍්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරීයා සහ දරුවා මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා, මියගිය දරුවාගේ සහ එම සිදුවීමෙන් තුවාල ලැබූ දරුවාගේ දෙමව්පියන්ට රුපියල් ලක්ෂ 25 ක මුදල් ප‍්‍රදානයක් කිරිමට තමා කටයුතු කළ බව ද කියා සිටියේය.

එම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුවාගේ තත්ත්වය දුටු අවස්ථාවේ තමා ඉමහත් සංවේදී වූ බව ද කියාසිටි ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ ප‍්‍රජාව ඇතුළු සමස්ත ජනතාව බේරා ගැනීමට එක්වන ලෙස ද එම නියෝජිත පිරිසට ආරාධනා කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත‍්‍රස්තවාදය වැළැක්වීම සඳහා කලාපීය රටවල් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ වැදගත්කම, ආගමන හා විගමන සහයෝගීතාවය මෙන්ම කලාපයට අදාළ ඵලදායි තීරණ ගැනීම සම්බන්ධයෙන් ද මෙම සමුළුවේදී අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බව සාක් මහලේකම් Amjad Hussain B. Sial මහතා ජනාධිපතිතුමා හමුවේ කියා සිටියේය.

එමෙන්ම වීසා නොමැතිව සාක් කලාපයේ රටවල ගමන් කළ හැකි පරිදි තෝරාගත් අංශ වල සාමාජිකයන්ට විද්‍යුත් වීසා මුද්‍රාවක් ගමන් බලපත‍්‍රවලට සවිකිරීමට ද තීරණයක් ගෙන ඇති බව මෙහිදී Amjad Hussain B. Sial මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, එම අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − two =