පැය 24ම විදුලිය සපයන කලාපයේ එකම රට ලෙස ශ‍්‍රී ලංකාව සාර්ක් මහලේකම්ගේ ඇගයීමට

(කොළඹ, ලංකාපුවත්) – පැය 24ම විදුලිය සපයන කලාපයේ එකම රට ලෙස ශ‍්‍රී ලංකාව අගය කරන බව සාර්ක් කලාපීය මහලේකම් අම්ජාඩ් හුසේන් බී සියල් මහතා පවසා සිටියි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ, ඊයේ(12) පස්වරුවේ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති ද්වීපාර්ශ්වික නිල සාකච්චාවකදීය.

සාර්ක් කලාපයේ රටවල් අතර බලශක්ති සහයෝගීතාව තහවුරු කරගැනීම සහ වර්ධනය කරගැනීම පිළිබඳව මෙම හමුවේදී සාර්ක් මහලේකම්වරයා සහ අමාත්‍යවරයා අතර වැඩිදුරටත් සාකච්ඡා කෙරුණි. සාර්ක් කලාපයේ බලශක්ති සහයෝගීතාව වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරන මෙන් මහා ලේකම්වරයා විසින් අමාත්‍ය සියඹලාපිටිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

සාර්ක් කලාපීය රටවල් අතර පවතින්නාවූ රාජතාන්ත‍්‍රික සබඳතා තවත් තහවුරු කරගැනීමේ පියවරක් වශයෙන් මෙරට තුළ යොදාගනු ලබන පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් පිළිබඳව කලාපීය අනෙකුත් රටවල්හි බලශක්ති ක්ෂේත‍්‍රයන්ද දැනුවත් කර, එම ක‍්‍රමෝපායන් අනුගමනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මහලේකම්වරයා පැවසීය.

එසේම බලශක්ති අර්බුදයට පිළියම් සොයනු වස් දේශීය වශයෙන් අනුගමනය කරන්නාවූ බලශක්ති සංරක්ෂණ ක‍්‍රමෝපායන් පිළිබඳවද මහලේකම් වරයා, විෂයබාර අමාත්‍යවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × three =