‘ආදරණිය ප්‍රින්ස්’ ප්‍රසංගය හෙට

(කොළඹ, ලංකාපුවත්) – ආදරණීය ප්‍රින්ස් උදය ප්‍රියන්ත අප අතරින් වෙන් වී මේ වන විට මාසයක් ඉක්මවා ගොසින් ය. දැඩි ලෙස රෝගාතුරව වසර දෙකකට ආසන්න කාලයක් ඔහු ප්‍රතිකාර ලැබීය. ප්‍රින්ස්ව ප්‍රකෘති තත්ත්වයට ගෙන එමට ඔහුගේ නැගණිය නොගත් උත්සාහයක් නොමැත.

ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙව්වේ ද ගේදොර ඉඩකඩම් විකුණමිනි. එහෙත් ඔහුට මෙලොව නතරවීමට නොහැකි විය. ප්‍රින්ස් මිය යන විට ප්‍රතිකාරගත රෝහලෙහි බිල රුපියල් විසිපන් ලක්ෂ තිස් අට දහසකි. එය ගෙවා ගැනීමට ප්‍රින්ස්ගේ නැගණියට හැකියාවක් ලැබුණේ නැත.

රෝහලේ ප්‍රධානි ජයන්ත ධර්මදාස මහතාගේ මැදිහත්වීම මත පසුව බිල ගෙවා දැමීමේ පොරොන්දුව මත ප්‍රින්ස්ගේ දේහය මුදාහරනු ලැබීය. ප්‍රින්ස්ගේ ඒ ගාස්තුව ගෙවා දැමීමට ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල්ගේ මූලිකත්වය ගෙන ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් වේ.

ඒ අනුව ‘ආදරණිය ප්‍රින්ස්’ ප්‍රසංගය හෙට(14) සවස 6.30 ට මහරගම තරුණ සේවා සභාවේ යොවුන් රඟහලේදී පැවැත්වේ.

මෙම විචිත්‍රවත් වූ ප්‍රසංගය පැවැත්වෙන්නේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරංදික වැලිඅංගගේ සුවිශේෂී සහයෝගීත්වයෙන් හා සංවිධානයෙනි. ප්‍රසංගයෙහි සංගීතය සපයනු ලබන්නේ යූත් එක්ස්ට්‍රීම් වාද්‍ය වෘන්දය වේ.

කීර්ති පැස්කුවල්, මධුමාදව අරවින්ද, ටිරෝන් මද්දුමගේ, සේනක උබේසිංහ සහ නුවන් සමරසිංහගේ සංවිධාන ශක්තියෙන් පැවැත්වෙන ආදරණීය ප්‍රින්ස් ප්‍රසංගයෙහි ගායන දායකත්වය ටී. එම්. ජයරත්න, අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රියා සූරියසේන, කීර්ති පැස්කුවල්, නාමල් උඩුගම, ආත්මා ලියනගේ, නිරෝෂා විරාජිනි, චරිතා ප්‍රියදර්ශනී, සමිතා එරන්දතී, රෝහණ බෝගොඩ, මරියසෙල් ගුණතිලක, ජගත් වික්‍රමසිංහ, නෙලූ අධිකාරි, ජානක වික්‍රමසිංහ, භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්, උමාරියා සිංහවංශ, කසුන් කල්හාර, අමල් පෙරේරා, චාමර වීරසිංහ, චන්දන ලියනාරච්චි, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, මධුමාදව අරවින්ද, රොහාන් ද සිල්වා සහ ටිරෝන් මද්දුමගේ යන අයගෙනි.

සංගීත අධ්‍යක්ෂණය නුවන් සමරසිංහ සහ මාධ්‍ය සම්බන්ධිකරණය ඇන්ටන් ජේ. ප්‍රනාන්දුගෙනි.

ආදරණීය ප්‍රින්ස් ප්‍රසංගය නරඹන්න එන්න යැයි ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායක කීර්ති පැස්කුවල් ප්‍රින්ස්ට ළැදි ඔබට විවෘත ආරාධනාවක් කර සිටියි. ප්‍රසංගය නරඹා ඔබ ලබාදෙන ඒ මුල්‍යමය දායකත්වය සැබවින්ම මියගිය ප්‍රින්ස් වෙනුවෙන් කරනා මහඟු පින්කමක් වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *