හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සුදු වෑන්වලින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

2008 – 2009 කාලයේ කොළඹ ප්‍රදේශයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ව නීති විරෝධී ලෙස රඳවා තබාගෙන, අනතුරුව අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.

එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත ඊට ආධාර අනුබල දීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩී.කේ.පී දසනායක මහතා ඊයේ(12) පස්වරුවේ වැලිසරදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *